සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් එහිදී යම් යම් පරීක්ෂා කිරීම් සහ අඩුපාඩු පෙන්වා දුන් බවත් සඳහන් කරමින් මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම සාවද්‍ය ප්‍රවෘත්තියේ සදහන් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම ධූරයට පත්වූ පසු මේ දක්වා මහනුවර හෝ දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක රෝහල් නිරීක්ෂණයකට සහභාගි වී නොමැති බව අවධාරණයෙන් සදහන් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පෙරවරු 9.00 සිට රාත්‍රී 8.00 පමණ දක්වා කොළඹ 10 පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුදී සිටි අතර  එ් මහතාට පරිශ්‍රයෙන් බහැරව යාමට අවස්ථාවක් නොතිබුණ බවද එම නිවේදනයේ දැක්වෙයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ උදෑසන සිට පස්වරුව දක්වා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති 07ක නියෝජිතයන් සහ අමාත්‍යාංශයේ නිළධාරීන් සමග සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය හා සේවා ගැටලු පිළිබදවත් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව නගා සිටුවීමේ ඉදිරි සැළසුම් සකස් කිරීම පිළිබදවත් එම නියෝජිතයන් සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකරන ලදී.

එවන් තත්ත්වයක් යටතේ ඊයේ (22) ගරු අමාත්‍යතුමාට මහනුවර හෝ දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක රෝහල් නිරීක්ෂණය කිරීමට යාමට අවකාශ නොතිබූ බව නැවත අවධාරණය කරමි.

මෙවන් සාවද්‍ය ප්‍රවෘත්ති පලකිරීම් මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් හා ආයතන අපහසුතාවයට පත් නොකරන ලෙසත් එවන් සාවද්‍ය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර මහජනතාව නොමග යැවීම සිදු නොකරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.



Recommended Articles