සූර්ය විදුලි ඒකකයකට රජය ගෙවන මිල අඩු කිරීමේ සැලසුමක්


 විදුලිය බිඳ වැටීම හරහා ආණ්ඩුව  සූර්ය  බල විදුලියෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකක එකක් රු.27 සිට රු.16 දක්වා අඩු කර මිලදී ගැනීමේ උත්සාහයක් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ(11දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත්  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“විදුලිය බිඳ වැටුණම ඇමතිතුමා මුලින් කිව්වා වඳුරෙක් පානදුරේ ග්‍රිඩ් එකට හැප්පිලා තමයි මේක වුණේ කියලා. 88-89 කාලයේ මෙගාවොට් 33,000 ට්‍රාන්ස්ෆෝමර් පුච්චලා, කොටි ත්‍රස්තවාදීන් ගහලත් ලංකාවටම එක පාර කරන්ට් එක නැති වුණේ නෑ.  ඊට පස්සේ කිව්වා හවස් වන විට පසුගිය ආණ්ඩුවල වැරදි වලින් කියලා.

පසුගිය ආණ්ඩුවවල වැරදි කිය කිය තමයි ඒ අය බලය ගත්තේ. දැන් බලය අරන් මාස 04කට වැඩියි, දැන් වංචාව, දූෂණය, නාස්තිය නැතුව රට ගෙනියනවා කිව්වට ඒ අයගේ නොහැකියාව තමයි පෙන්වන්නේ. මට මතකයි ඒ දවස්වල විදුලිය කපනකොට සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා කතාවක් කිව්වා. අද, ඊයේ, හෙට, අනිද්දා කරන්ට් කපන්නේ නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය වෙන නිසා.

සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා කිව්වේ නොරොච්චෝලේ අක්‍රීය වෙන්නේ නෑ, එහෙම වෙනවා නම් කලින් දැනගන්න පුළුවන් කියලා. මේක මාෆියාවක් කියලා ඔහු කිව්වා.මම හිතනවා සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා කියන විදියට ඊයේ රෑ කරන්ට කැපුවේ, අද රෑ කරන්ට් කපන්නේ, හෙට අනිද්දා කරන්ට් කපන්නේ මාෆියාව නිසා. මේ මාෆියාව ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවට නතර කරගන්න බැරිවෙලා තියෙනවා.

එක්කෝ සුනිල් හඳුන්නෙත්ති බොරු කිව්වා, නැත්තන් මාෆියා එක අද ආණ්ඩුවට නවත්වා ගන්න බෑ. ඒ නිසා මේ අයගේ කතා ඔක්කෝම ක්‍රියාවෙන් පෙන්නුම් කරගන්න බැරිවෙලා ඉන්නේ. පරණ ක්‍රමයමනේ යන්නේ. අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියනවා සූර්ය පැනලවලින් නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩියි කියලා. මේ එන්න මොකාටද? මේ එන්න හදන්නේ සූර්ය පැනලවලින් එන විදුලියට ගෙවන ගාන අඩු කරන්න. 

මේකේ ගණන් විවිධ අවස්ථාවලදී වෙනස් කරලා තියෙනවා. ඩොලර් එක රුපියල් 180ට තියෙද්දි සෝලා පවර් එකකට දුන්නේ රු.22යි. ඊට පස්සේ ඩොලර් එක රු.350ට ගියාම රු.34ට දුන්නා. ඊට පස්සේ 300ට ඩොලර් එක අඩු වුණාම රු.27ට අඩු කළා. අපිට ආරංචි වන විදියට මේරු.27 ආයේ රුපියල් 16කට අඩු කිරීමේ මාෆියාවක් තමයි යන්නේ. 

හේතුව මේ සූර්ය පද්ධතිය  එද්දි කාටද වදින්නේ? ගල් අඟුරු මාෆියා එකටයි, ඩීසල් මාෆියා එකටයි. මේ ගල්අඟුරු සහ ඩීසල් මාෆියා පිටුපස ඉන්නේ කවුද? ඒක ආණ්ඩුව දැනගන්න ඕනෑ. සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයාට අනුව නම් නොරොච්චෝලේ බලාගාරේ අක්‍රීය වන බව දැන දැන බලාගාර 03ම අක්‍රීය වෙන්න ඉඩ දුන්නා. අපි ජනතාවට කියනවා ඇත්ත තේරුම් ගන්න කියලා. ”



Recommended Articles