සුරාබදු නොගෙවූ මත්පැන් නිෂ්පාදනාගාරයක නිෂ්පාදන කටයුතු අත්හිටුවයි


වංකානෛ පිහිටි වලිකාමම් මත්පැන් නිෂ්‍පාදනාගාරයට අදාළව හිඟ සුරාබදු ගෙවන තෙක් මල්පැන් නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට කටයුතු කර තිබෙන බව සුරාබදු දෙපර්තමේන්තුව සඳහන් කරයි.

නියමිත බදු නොගෙවූ ආයතනයන්ට හිඟ බදු මුදල් ගෙවා නිමකිරීම සඳහා පසුගිය 30වන දින දක්වා කාලය ලබා දී තිබූ බවද එම දෙපාර්තමේන්තුව අද (02දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

වැලිසර ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම, කුරුණෑගල රෝයල් සිලෝන් ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම, මීගොඩ මැකලම් බෲවරි සමාගම (දැනට ක්‍රියාත්මක නැත) විසින් ගෙවිය යුතු හිඟ බදු අධිභාර සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණමය ක්‍රියාවලියකට යොමු වී තිබෙන බවද පෙන්වා දී ඇත.

එම නඩු කෘත්‍යන්ට අදාළ නඩු තීන්දු අනුව ඉදිරි පියවර ගන්නා බවද සඳහන් කරයි.දැනට ක්‍රියාත්මක නොවන ලුණුවිල ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් හා වයඹ ස්ප්‍රිතු සමාගම  හා පයාගත සමුපකාර මත්පැන් නිෂ්‍පාදනාගාරවලට අදාළ සමාගම් සම්බන්ධ අයිතිය තහවුරු කර ගැනීම් කටයුතු මේ වන විට අරඹා තිබෙන අතර, ඉන්පසුව එම සමාගම්වලට අදාළ හිඟ බදු අයකර ගැනීම් සඳහා නීතිමය පියවර ගැනීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

සුරාබදු ආඥා පනතේ දැනට පවතින නීතිමය ප්‍රතිපාදන මත සුරාබදු ගෙවීම පැහැර හරිනු ලබන සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත්, නිෂ්පාදන බලපත්‍ර ඊළඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් කටයුතු කරන බවද සඳහන් කරයි.

මේ වර්ෂයට අදාළව මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් සඳහා නිෂ්‍පාදන බලපත්‍ර නිකුත් කර තිබෙන බවත්, නියමිත දිනවලදී සුරාබදු නොගෙවෙන සමාගම් සඳහා මාසිකව හිඟ බදු මුදල් මත 3% අධිභාරයට පැනවීමට නීතිමය හැකියාව තිබෙන බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles