සියලු විදේශීය ණය ආපසු නොගෙවනවයි කියන කථාව අසත්‍යයි


2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත්කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වාණිජ ණය හා නිල ද්විපාර්ශ්වික ණය සඳහා පමණක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව පැවසීම අසත්‍යයක් බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි. 

එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ස්ථායීකරණය සඳහා මූලික වශයෙන්ම හේතුවී ඇත්තේ, විදේශීය ණය සේවාකරණය නොකිරීම වන බව ද අදාළ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

නැවත ණය සේවාකරණය ආරම්භ වූ විට ආර්ථික අස්ථායීතාව නැවත ඇති වන බවට ද සමාජයේ මතයක් පවතින බව අදාළ නිවේදනයේ දැක්වේ.

“සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව අසත්‍යයකි. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම සඳහා අදාළ වනුයේ විදේශීය වාණිජ ණය හා නිල ද්විපාර්ශ්වික ණය සඳහා පමණකි. පවත්නා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යුහය තුළ සාමාන්‍යයෙන් සිදුකරනු ලබන පරිදි, විදේශීය බහුපාර්ශ්වික ණය රජය විසින් අඛණ්ඩව සේවා කරනු ලැබේ.

ඒ අනුව, 2022 අප්‍රේල් මාසයේ තෝරාගත් විදේශීය ණය සේවාකරණය තාවකාලිව අත්හිටුවීමෙන් පසුව වුවද, රජය විසින් අඛණ්ඩව බහුපාර්ශ්වීය ණය සේවාකරණය කරන ලදි. මහ බැංකුව, රාජ්‍ය බැංකුව සහ පෞද්ගලික අංශය ඇතුළු සමස්ත ආර්ථිකයට සහ ගෙවුම් ශේෂයට ණය සේවාකරණයේ බලපෑම හඳුනා ගනිමින්, පහත වගුවෙහි දක්වා ඇති ආකාරයට 2022 වසරේ දී (ජනවාරි සිට අප්‍රේල් ද ඇතුළත්ව) සහ 2023 වසරේ දී පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 2,483 ක් හා ඇමරිකානු ඩොලර් මිලියන 2,589 ක් ණය සේවාකරණය සිදුකර ඇත. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමට පෙර සාමාන්‍යයෙන් වසරක දී සිදුකරන ලබන ණය සේවාකරණ ගෙවීම්වලින් භාගයකට පමණ මෙය සමාන වේ.”

 



Recommended Articles