සියඹලාන්ඩුව විදුහලේ විදුහල්පතිනියට දුන් ස්ථාන මාරුව බල රහිත කරයි


මොණරාගල සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණමාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සියඹලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමට ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ගෙන ඇති තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අද (13දා) අවසර දුන්නේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙය විභාග කෙරිණ.

මොණරාගල සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණමාන මහත්මිය ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මොණරාගල අධ්‍යාපන අධ්‍යක්ෂ හර්ශනි සමීර, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. අමරදාස යන මහත්වරු ඇතුළු පිරිසක් නම් කර ඇත.

මොණරාගල සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේ විදුහල්පතිනිය වශයෙන් පෙත්සම්කාරිය කටයුතු කරමින් සිටියදී 2022 අගෝස්තු 23 වැනිදා දෙමාපියන් පිරිසක් සමඟ පළාත් අධ්‍යාපන කාර්යාලයේ පරිපාලන නිලධාරිනියක් පැමිණ ඇය හමුවී ඇය සම්බන්ධයෙන් චෝදනා රැසක් ඇති බවට පැමිණිලි කළ බවට කරුණු ඉදිරිපත් වී ඇතැයි අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරතන මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ප්‍රකාශයට පත්කළ තීන්දුවේ සඳහන් කර ඇත.

අකාර්යක්ෂම පාසල් කළමනාරණය, මූල්‍ය අක්‍රමිතා ඇතුළු චෝදනා රැසක් ඇයට එරෙහිව ඇති බව දැනුම් දුන් පරිපාලන නිලධාරිනිය මේ සම්බන්ධයෙන් පාසල් සංවර්ධන රැස්වීමක්ද කැඳවා ඇතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඩුල්ල එම පාසල් සංවර්ධන රැස්වීමෙන් අනතුරුව පෙත්සම්කාරිය වහාම ක්‍රියාත්මක වන පරිදි සියඹලාණ්ඩුව අධ්‍යාපන කාර්යාලයට මාරු කර ඇතැයිද තීන්දුවේ සඳහන් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු විමර්ශනයේදී පෙත්සම්කාරිය සියඹලාණ්ඩුව අධ්‍යාපන කාර්යාලයට මාරු කරමින් ලිපියක් නිකුත් කිරීමට ඌව පළාත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට නීත්‍යනුකූල බලයක් නොමැති තත්වයක් තුළ ඔහු අදාළ ලිපිය නිකුත් කර ඇතැයිද ඒ අනුව ඹහු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවක් බව පැහැදිලි වන්නේ යැයිද තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරිය සියඹලාණ්ඩුව අධ්‍යාපන කාර්යාලයට මාරු කරමින් නිකුත් කළ ලිපිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළ අතර පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

පෙත්සමකාරීය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ පී. ජයසූරිය මහතා පෙනී සිටියේය.


 



Recommended Articles