සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට


දෙහිඕවිට සූසාන භූමියඉදිරිපිට හෝටලයක ගරාජයක් තුළ සඟවා තිබූ  කොටස් එකලස් කර තනන ලද  ලෑන්ඩ් කූශර්  ප්‍රාඩෝ ජීප් රථයක් සමග එම හෝටල් හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එහි තිබී   මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩු දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සීතාවක කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාට ලද තොරතුරකට අනුව නුරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි එස් ඉන්දික මහතා ඇතුළු කණ්ඩායමක්  එම හෝටලය කරා ගොස් සිදුකළ පරික්ෂාවේදී  එහි ගරාජය තුළ අංක තහඩු ගලවන ලද ලෑන්ඩ් කූශර්  ප්‍රාඩෝ වර්ගයේ  ජීප් රථය හමුවී ඇතිි අතර හෝටල් හිමි කරුගෙන් ඊට අදාළ ලිපි ලේඛන ඉල්ලීමේදී කිසිදු ලිපි ලේඛනයක් ඉදිරිපත් කිරීමටද අපොහොසත් වී ඇත.

අනතුරුව තවදුරටත් සිදුකළ පරික්ෂාවේ දී මාතලේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ඉන්දියන් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකට අයත් ලියාපදිංචි අංක තහඩු දෙකක්ද හමුවීමෙන්අනතුරුව ප්‍රාඩෝ රථයේ චැසි සහ එන්ජින් අංක මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත  පද්ධතිය හා සිදුකළ පරික්ෂාකර බැලීමේදී  එම අංකයන් පරිගණක පද්ධතිය  ඇතුළත් වී නොමැති බවටද වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව මෙම ලෑන්ඩ් කූෂර් ප්‍රාඩෝ රථය හෝටල් භූමියේ සඟවා ගෙන සිටි හෝටල් හිමිකරු මෙන්ම  එය මෙම ස්ථානයට රැගෙන ආ  පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම ප්‍රාඩෝ රථයට මෝටර් රථයේ ලියාපදිංචි අංක තහඩු සවිකර  අපරාධවලට යොදා ගත්තාද යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහියෝ විට ඊරිය ගොල්ල සහ අවිස්සාවේල්ල ඉහල තල් දූව  පදිංචිකරුවන්ය.



Recommended Articles