සහන දෙන්න අවශ්‍ය තරම් මුදල් වෙන් කරන්න


ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලධාරීන්ට දැනුම් දුන්නේය.

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ , ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සදහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27දා) පැවති සාකච්ඡාවේදීය.

විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබා ගෙන අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.

අයහපත් කාලගුණය හේතුවෙන් අධි අවධානමක් සහිත උතුරු නැගෙනහිර පළාත් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණි.

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ  මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ  සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

දැනට  මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගොස් සිටින ධීවර ජනතාව පිළිබඳව සොයා බලා ඔවුන්ව සුරක්ෂිතව ගොඩ බිමට ගෙන ඒමට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙහිදී අවධානය යොමු විය.

විපතට පත් ජනතාව වෙනුවෙන් ගුණාත්මක සේවා සපයමින්  එම ජනතාව සම්බන්ධයෙන් පසු විපරම් තොරතුරු ලබා ගැනීමට ද කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  වැඩිදුරටත් උපදෙස් දුන්නේය.



Recommended Articles