අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පවතින ගැටලු විසඳීම සඳහා අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙස අද (30දා) අයවැය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට යෝජනාවලියක් භාර දුන් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
මේ වන විට විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන, පාසල් යන අංශ සියල්ලම පාහේ බරපතළ ලෙස බිඳ වැටීමකට ලක්ව තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කළේය. පැවති ආණ්ඩු විසින් අධ්‍යාපනය පිළිබඳ වගකීමෙන් රජය නිදහස් වී එය ක්‍රමක්‍රමයෙන් පෞද්ගලික අංශයට විවෘත කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම නිසා මෙම තත්ත්වය ඇති වූ බවද හෙතෙම පැවසීය.
මේ අනුව අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන දළ දේශීය නිෂ්පාදනයෙන් 3% දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවත්, ඉන් පසුව එය ක්‍රම ක්‍රමයෙන් සියයට හයක් දක්වා ඉහළ දැමිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය ආහාර වියදම් පියවා ගැනීම සඳහාවත් ප්‍රමාණවත් නොවන බවද මේ වන විට ශිෂ්‍යයෙකුගේ මාසික වියදම රු.25000 ක පමණ අගයක් දක්වා වැඩි වි තිබෙන බවද මදුෂාන් චන්ද්‍රජිත් මහතා පැවසීය.
මේ නිසා මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රු.10000 ක් බවට පත් කරන ලෙස යෝජනා කළ බවද හෙතෙම පැවසීය.උසස්පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන සිසුන්ට අවස්ථාවක් ලෙස පවතින විවෘත විශ්වවිද්‍යාල සංකල්පය නගා සිටුවිය යුතු අතරම මූලික පහසුකම් නොමැති පාසල්වලට පන්ති කාමර, ජලය, වැසිකිළි, විදුලිය පහසුකම් සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නැයි ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.
පාසල් උපකරණ මත වැඩ් බදු පනවා තිබෙන නිසා එම උපකරණ මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙන හෙයින් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ මිල අඩු කිරීමටද අයවැයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙසට ඉල්ලා සිටි බව හෙතෙම පැවසීය.