ශිෂ්‍යව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියේ විමර්ශන නිලධාරීන්ට දේශපාලන බලපෑම්


මෙවර පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාග  ප්‍රශ්න පත්‍ර අක්‍රමිකතා චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ තහනමට ලක්ව සිටින සහ පරීක්ෂණ සඳහා චෝදනාවට ලක්වී සිටින විදුහල්පති හා ගුරුවරු,  සම්බන්ධයෙන් විමර්ශන කටයුතු  ආරම්භ කර ඇති නිලධාරීන්ට සිදු කරන දේශපාලනික බලපෑම් නැවතීමටත් ඒ සඳහා සාධාරණය ඉටු කිරීමට මැදිහත් වන ලෙසටත්  අධ්‍යාපන අමාත්‍ය සහ අගමැතිනී හරිනී අමරසූරිය මහත්මියගෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කරයි.

මෙවර පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී අනුරාධපුර විභාග මධ්‍යස්ථානයකදී ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර බෙදා හැරීමේ චෝදනාව මත තිදෙනෙකුගේ වැඩ තහනමට ලක්ව, තවත් ගුරුවරුන් (ටියුෂන්ද පවත්වාගෙන යන) නව දෙනෙකුගේ ජංගම දුරකථන විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරි පරීක්ෂණ සඳහා භාරයට ගත්තේය.

මේ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා  මෙසේ පැවසීය.

" මේ වනවිට මෙම ප්‍රශ්න පත්‍ර  සිද්ධිය යට ගහන්න විවිධ දේශපාලන බලපෑම් සහ යම් යම් වෘත්තීය සමිති  බලපෑම් කරමින් තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරයා  මේ ගැන කියන්නේ මේ සිද්ධියට පරීක්ෂණ කරනතුරු විභාග පිළිතුරු පත්‍ර ඇගයීම නතර කරනවා කියලයි.

එසේ බලන විට මේ යන විමර්ශනය කොච්චර කොපමණ කාලයක් දැයි කියන්න බෑ.එය අවුරුද්දක පමණ කාලෙකින් පවා අවසන් වෙයිද කියන්න බෑ.එතෙක් ප්‍රතිඵල දෙන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය අපට තියෙනවා.

 උතුරු මැද පළාතේ නව දෙනකු සැකපිට විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් කර දෙපාර්තමේන්තු මගින් ඔවුන්ගේ දුරකථන භාරයට ගත්තද දැනට එම පරීක්ෂණ නැවතී තියෙනවා.එතනින් එහාට මේ විමර්ශන ගිහින් නෑ.අඩු තරමේ ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු මූලික ක්‍රියාමාර්ග ගැනීම් පවා නැවතී තිබෙනවා.අත්අඩංගුවට ගත් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන්ද ආයතන මට්ටමේ ගතයුතු ක්‍රියා මාර්ගද අරගෙන නෑ.

මේ වනවිට හෙළිදරව් වූ සහ හෙළිදරව් වෙමින් පවතින  කරුණු අනුව අවුරුදු අටක පමණ සිට කාලයක් තිස්සේ මෙසේ විභාග වංචා වෙලා තියෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගුරුවරු, ටියුෂන් ගුරුවරු එකතු වෙලා මෙතරම් කාලයක් මෙය සිදුකර තිබෙනවා.

මෙය ගුරුවරු දෙතුන්දෙනකුගේ හෝ නිලධාරී දෙතුන්දෙනෙකුගේ හෝ ටියුෂන් මුදලාලිලා දෙතුන් දෙනකුගේ  ප්‍රශ්නයක් නොව සිසුන්තුන් ලක්ෂ  විසිපන්දාහකගේ (325000) ප්‍රශ්නයක්.

මේ බරපතල කරුණු සියල්ල සැලකිල්ලට ගෙන රටේ සමස්ත දරු පරපුරු වෙනුවෙන් මැදහත්ව සිට ඉතා අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට තමන් නව අධ්‍යාපන ඇමතිවරියකින් ඉල්ලා සිටින බවද අවසාන වශයෙන් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා  අවධාරණය කළේය.



Recommended Articles