ශිෂ්‍යත්ව විභාගය නව කාලසටහනකට සකස් කරන්න


05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නව කාලසටහනකට සකස් කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම අනාගතයේදී මෙවැනි සිදුවීම් සිදුවීම වැළැක්වීමට පියවර ගත යුතු බව එහි සඳහන් කර ඇත.එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර තිබේ.

5වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර, විභාගයට පෙර පිටවීම ඉතා කණගාටුදායක සිදුවීමක් වන අතර මේනිසා සිසුන් සහ දෙමාපියන් යන පාර්ශ්ව දෙකම ඉතා කලකිරීමට පත්ව තිබේ. එමගින් ශ්‍රී ලංකාවේ ජාතික විභාග පද්ධතියේ අවංකභාවය පිළිබඳ සැකයක්ද මේ වනවිට ජනසමාජයේ මතුව තිබේ. මෙම සිදුවීම හරහා විශේෂයෙන් ම මෙම විභාගය සඳහා වසර ගණනාවක් ඉතා උනන්දුවෙන් සූදානම් වූ සිසුන් දැඩිලෙස කලකිරීමටත් කනස්සල්ලටත් පත්ව ඇත.

මෙකී සිදුවීම හේතුවෙන් ඔවුන් විසින් දරණ ලද දැඩි වෙහෙස මහන්සිය සහ අනාගත අපේක්ෂාවන්ට හානි විය හැකි බවට බියෙන් පසුවන සිසුහූ ද දෙමාපියෝ ද මෙම බරපතළ ගැටලු‍ව වෙනුවෙන් සාධාරණ සහ යුක්ති සහගත විසඳුමක් අපේක්ෂාවෙන් සිටිති.
එබැවින් මෙම බරපතළ ගැටලු‍ව විසඳීමට සහ විභාගය නැවත නව කාලසටහනකට සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත්, අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂයනායකයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 



Recommended Articles