වී කිලෝවක මිලත් ඉහළ දමන්නැයි ඉල්ලයි


ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන නව සහල් මිලට සාපේක්ෂව වී කිලෝවක් සඳහාද කඩිනමින් නව මිලක් ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

සහල් මිල ඉහළ දමමින් පසුගිය 09 වැනි දින ගැසට් නිවේදනයක් නිකුත් කළද වී කිලෝවක් මිලදී ගන්නා සහතික මිල ඉහළ දැමීමට ආණ්‍ඩුව කටයුතු නොකළ බවද එම සංගමයේ සභපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මේ අනුව රුපියල් 105 ක් ලෙස පවතින නාඩු වී කිලෝවක මිල රුපියල් 120 දක්වා රුපියල් පහළොවකින් ඉහළ දැමිය යුතු බවත්, රුපියල් 120 ක්ව පවතින සම්බා වී කිලෝවක මිල රුපියල් 130 ක් දක්වාත් රුපියල් 125ක් ව පවතින කීරි සම්බා වී කිලෝවක මිල රුපියල් 135 දක්වාත් රුපියල් දහයකින් ඉහළ දැමිය යුතු බව ඔහු පැවසීය.

මිට අදාළ යෝජනාව ජනාධිපති අනුරකුමර දිසානායක මහතාට  භාරදීමට කටයුතු කරන බවත්, කඩිනමින්  වී මිල වෙනස් නොකළ හොත් ඉදිරි කන්නයේදී ගොවීන්ගේ වී අස්වැන්න මෝල් හිමියන් කුණු කොල්ලයට මිලදී ගැනීම වළක්වා ගත නොහැකි වන බවත් හෙතෙම සඳහන් කළේය.

පසුගිය දිනවල ඇතැම් මෝල් හිමියන් විසින් වී හිඟ බව පවසමින් රට තුළ සහල් හිඟයක් ඇති කළ ද සහල් මිල ඉහළ දැමීමත් සමග අධික ලෙස සහල් තොග මේ වන විට වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවද සභාපතිවරයා  පැවසීය.

පසුගිය කන්නවලදී මෝල් හිමියන් විසින් ගොවීන්ගෙන් වී කිලෝවක් මිලදී ගනු ලැබුවේ රුපියල් 90 ත් රුපියල් 110 ත් අතර මුදලකට බවත් එලෙස මිලදී ගත් වී තොග සහල් බවට පත් කර අධික මිලකට මේ නව විට අලෙවි කරමින් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

සහල් මිල ඉහළ දැමූ පසු සහල් තොග වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන  නිසා පසුගිය කාලයේදී සහල් හිඟයක් ඇති වූයේ මෝල් හිමියන් විසින් වී තොග සඟවා ගෙන සිටීම නිසා බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයා මැදිහත් වී කඩිනමින් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් හෙතෙම පැවසීය



Recommended Articles