විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් අයියා හා මල්ලි අල්ලයි


මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ පහර කෑමට ලක්ව ඇත්තේ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය කල්‍යාණ තිස්ස නමැති වෛද්‍ය වරයකු වනඅතර ඔහු මුහුණේ තුවාල සහිතව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

එම විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (26) රාත්‍රියේ රාජකාරි නිමවා රෝහල් පරිශ්‍රයේ විලියම් ගොපල්ලව මාවතේ පිටවීමේ දොරටුව අසලදී එසේ පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි.

වෛද්‍යවරයා එම ස්ථානයෙන් ගමන් කරන විට රෝහල් ආරක්ෂක අංශ සමග ත්‍රී රෝද රථ රියදුරෙකු කිසියම් ආරවුලක් ඇති කරගෙන සිට ඇති අතර එම අවස්ථාවේදී වෛද්‍යවරයා පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි.

අධික බීමතින් සිට ඇති ත්‍රී රෝද රථ රියදුරු සහ ඔහුගේ සහෝදරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හන්තාන ගැමුණු මාවතේ පදිංචිකරුවන් බව පවසන පොලිසිය ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මුලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



Recommended Articles