විනෝදයට පැද්ද ඔරුව පෙරළී යුද හමුදා හිටපු සිවිල් ක්‍රීඩා පුහුණුකරු දියේ ගිලී මිය යයි


කැලණි මුල්ල දෙපා ඇලේ  ඔරුවක් පෙරළීමෙන්  අතුරුදන්ව වු යුද හමුදාවේ හිටපු සිවිල් ක්‍රීඩා පුහුණුකරුගේ මළ සිරුර අද (13)පෙරවරුවේ සොයා ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුනේ කැලණිය ගම් සභා පාර පදිංචිව සිටි මිලාන් චතුරංග ගොඩැල්ලගේ නමැති 34 හැවිරිදි  දෙදරුපියකි.

මියගිය පුද්ගලයා  හා 12 හැවිරිදි කුඩා දරුවෙකු , කාන්තාවක් ඇතුළු  පුද්ගලයන් හය දෙනකු සමග  පෙරේදා (12) රාත්‍රී ඔරුවක නැග ගංවතුරෙන් යටවී ඇති ප්‍රදේශ නැරඹීමට ගමන් කරමින් සිටියදී මුල්ලේරියාව කැලණිමුල්ල දෙපා ඇලේ දි ඔරුව පෙරළී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී  ඒ දුටු ප්‍රදේශවාසීන් මහත් ආයාසයක් දරා සෙසු පිරිස බේරාගෙන තිබූ අතර මියගිය පුද්ගලයා අතුරුදහන්ව තිබිණි.

ඒ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සුසන්ත මහතා විසින් පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගෙන් හා නාවික හමුදාවෙන් අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටි අතර එහි කිමදුම් කාර නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර දෙපා ඇලේ තිබියදී  සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.



Recommended Articles