විදේශ සේවා නියුක්ති කාර්යාංශයට රු. කෝටි 63ක් අහිමි වුණ හැටි මෙන්න


පළමු වරට විදේශගතවන ගෘහ සේවිකාවන් සඳහා ලබාදීමට නියමිත වෘත්තීය පුහුණුව ලබා නොදී ගෘහ සේවිකාවන් 28,165 ක් විදේශ ගෘහ සේවා රැකියාවන් සඳහා යවා ඇති බවත් ඔවුන්ට පුහුණුව ලබා නොදී විදේශ ගත කිරීමෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට රුපියල් 631,177,650 ක පුහුණු ආදායමක් අහිමි වී ඇති බවත් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

2022 ජුනි 07 දිනැති කාර්යාංශයේ සභාපතිගේ ලිපියට හා 2023 ජනවාරි 09 දිනැති නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිගේ ලිපි හා ආයතනික චක්‍රලේඛ උපදෙස් අනුව පළමු වරට විදේශගතවන ගෘහ සේවිකාවන්ට රුපියල් 22,410 ක මුදලක් අයකර විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් දින 28 ක NVQ(3) මට්ටමේ නේවාසික පුහුණුවක් ලබා දිය යුතු බව විගණන කාර්යාලය සඳහන් කරයි.

එහෙත් 2023 මුල සිට 2024 මැයි 29 දක්වා කාර්යාංශය මගින් එම පුහුණුව ලබා නොදී ගෘහ සේවිකාවන් 28,165 ක් විදේශ රැකියාවලට යැවීම මගින් කාර්යාංශයට ලැබිය යුතු රුපියල් 631,177,650 ක පුහුණු ආදායමක් අහිමි කරගෙන ඇතැයි එම කාර්යාංශය සම්බන්ධයෙන් විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාව මගින් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් කළ විගණන විමසුමට කාර්යාංශය විසින් විගණනය වෙත අදහස් දක්වා නැත.මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසද විගණන කාර්යාලය කාර්යාංශය වෙත නිර්දේශ ලබා දී තිබේ.

ජේ. ඉඳුරුවගේ

 



Recommended Articles