විදෙස් ත්‍රස්ත සංවිධානවල අවශ්‍යතාවට ලංකාවේ ප්‍රහාරයක් සැලසුම් කළ තවත් අය හඳුනාගත්තා


විදෙස් ත්‍රස්ත සංවිධානවල අවශ්‍යතාවය මත මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් සකස් කළ තවත් සැකකරුවන් හඳුනාගෙන ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීහු ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයිද අද (28) දැනුම් දුන්නේය.

විදෙස් සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටින සංචාරක කලාපයන් ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැළසුම් කර ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා මෙම අපරාධය සඳහා අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ත්‍රස්ත සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට මහෙස්ත්‍රාත්වරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට අවසර දුන්නේය.

මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් සකස් කළ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රිමාන්ඩ් බාරයටට පත් කර සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස මෝෂමක් ගොනු කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් මෝෂමක් ගොනු කරමින් කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව යළි කැඳවිණී.
විදෙස් සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටියේ යැයි කියන සංචාරක කලාපයක් ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කරන ලදැයි කියන සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැරකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් මේ වන විට රිමාන්ඩ් බාරයට පත් කර ඇතැයි දැනුම් දුන්හ.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු වලට අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ විමර්ශන ආරම්භ කළ බවත්, එම විමර්ශනයේදී හෙළි වු තොරතුරු වලට අනුව සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් ඔවුන් මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන බවත් දැනුම් දුන් නිලධාරීහු විදෙස් ත්‍රස්ත සංවිධානවල අවශ්‍යතාවය මත මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් සකස් කළ තවත් සැකකරුවන් හඳුනාගෙන ඇතැයිද දැනුම් දුන්හ.

එලෙස සැලසුම් සකස් කළ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ත්‍රස්ත සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළ යුතුයැයි කී නිලධාරීහු ඒ ස`ඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියහ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු හා වාර්තාව සැළකිල්ලට ගනීමින් ඊට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාරතා කරන ලෙස නියම කරමින් විමර්ශන ගොනුව බහා තැබීය.



Recommended Articles