විදුලි ගාස්තුව අද ප්‍රකාශයට


ඉදිරි මාස 06ට අදාළ විදුලි ගාස්තුව අද (17 දා) ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

විදුලි ගාස්තුවට අදාළව වාචික අදහස් දැක්වීමට පළාත් 09 මූලික කරගනිමින් මහජන සැසි 9ක් පැවැත් වූ අතර, අවසන් සැසිය ලෙස පසුගිය 10වන දින  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනතාවට වාචික අදහස් දැක්වීමට අවස්ථාව සලසා දී තිබුණි.
මීට අමතරව ලිඛිතව අදහස් දැක්වීම සඳහාත් පසුගිය08වන දින දක්වා ජනතාවට අවස්ථාව ලබා දුන්නේය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වසරේ මුල් මාස 6 සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාව වූයේ පවත්නා විදුලි ගාස්තුව නොවෙනස්ව ක්‍රියාත්මක කිරීමටය.

මේ අනුව ලංවිම යෝජනාව මෙන්ම, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්යමණ්ඩලයේ නිර්දේශ (ප්‍රතියෝජනාව) පිළිබඳ මහජන අදහස් හා යෝජනා මේ ආකාරයට ලබා ගැනීම සිදුවිය.

මහජන අදහස් දැක්වීමේදී විදුලි බිල 30%ත් 35%ත් අතර ප්‍රමාණයකින් අඩු කරන ලෙස ඉල්ලා සිටි බවද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේය.

මේ ආකාරයට ජනතාව විසින් ලබාදුන් අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් හා  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්යමණ්ඩලයේ නිර්දේශ  පිළිබඳ සලකා බලමින් අද දිනයේදී විදුලි ගාස්තුව ප්‍රකාශ කිරීමට සැලසුම් කර තිබෙන බවද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.



Recommended Articles