2024/25 මෙම මාස් කන්නයේදී රජයේ සහතික මිලට ප්‍රමිතියෙන් යුතු වී අස්වනු මිලදී ගැනීම සඳහා සිය බල ප්‍රදේශයට අයත් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ වී ගබඩා 5ක්, ගම්පහ දිස්ත්‍රීක්යේ ගබඩා 1ක්, මාතලේ දිස්ත්‍රීක්කයේ ගබඩා 1ක් සහ පුත්තලම දිස්ත්‍රීක්කයේ ගබඩා 4ක් මේ වනවිට විවෘතකර ඇති බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාපය බාර වැඩ බලන ප්‍රාදේශීය කළමනාකරු ජී.එස්. ධර්මකීර්ති මහතා පැවසීය.
ඒ අනුව වී අලෙවි මණ්ඩලයට අයත් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ නිකවැරටිය, මාඑළිය, වරාවැව, මහව සහ ගල්ගමුව. ගම්පහ දිස්ත්‍රීක්කයේ මරඳගහමුල, මාතලේ දිස්ත්‍රීක්කයේ ගලේවෙල සහ පුත්තලම දිස්ත්‍රීක්කයේ ආණමඩුව,රාජකදළුව, තබ්බෝව සහ ඉපලෝගම ගබඩා එසේ විවෘතකර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනද ඒ ඒ ප්‍රදේශවලට මේ වනවිට ප්‍රධාන කාර්යාලයෙන් වෙන්කර ඇති බවත් ඒ අනුව තෙතමනය සියයට 14ට අඩු ප්‍රමිතියෙන් යුතු වී තමන්ට ළඟම පිහිටි වී අලෙවි මණ්ඩලයේ ගබඩාවකට රජයේ සහතික මිල වන නාඩු වී කිළෝවක් රුපියල් 120ටත්, සම්බා වී කිළෝවක් රුපියල් 125කටත් සහ කීරි සම්බා වී කිළෝවක් රුපියල් 132ටත් ගොවීන්ට එහිදී අලෙවි කළ හැකිය. මෙහිදී අවශ්‍ය නම් ඒ ඒ ගබඩා පරිශ්‍රයන් තුළදී ගොවීන්ට වී වියළා ගැනීමට වුවද පහසුකම් සලසා දිය හැකි බවද ඒ මහතා පැවසීය.
විවිධ ප්‍රදේශවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භවී ඇතත් ගොවීන් එම වී රජයේ ගබඩාවලට නොදී තෙත වී වශයෙන් කිළෝවක් රුපියල් 110-113 වැනි මිල ගණන්වලට අලෙවි කරන බවට විවිධ ප්‍රදේශවලින් ඇසෙන කතා සම්බන්ධයෙන් ද අප මෙහිදී ධර්මකීර්ති මහතා ගෙන් විමසීමක් කළේය.
16 (ඉරිදා) දිනපෙරවරු 9.30 වනවිටත් අදාළ කලාපයේ රජයේ ගබඩාවලට වී තොග ලැබී නොතිබූ බවද එහිදී අනවාරණය විය.
මෙහිදී ඒ මහතා කියා සිටියේ පෞද්ගලික වෙළඳුන් තෙතවී මිලදී ගත්තද ගබඩා කිරීම සඳහා රජයට එසේ වී මිලදී ගත නොහැකි බවය. ඒ කෙසේ වෙතත් දැනට වී අස්වනු නෙළීම සිදුවී ඇත්තේ සුළුවශයෙන් බවත් ඒ අනුව සති කිහිපය තුළදී සහතික මිලට අලෙවි කිරීම සඳහා ප්‍රමිතියෙන් යුතු වී ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලටද රැගෙන එනු ඇති බවට විශ්වාස කරන බවත් හෙතෙම පැවසීය.
මෙහිදී අප පුත්තලම දිස්‍ත්‍රීක්කයට අයත් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙවර මහකන්නයේ වී වගාව සම්බන්ධයෙන් තබ්බෝව සහ ඉහළපුලියන්කුලම ගොවිජන සේවා කාර්යාලවලින් ද විමසීමක් කළේය
කරුවලගස්වැව කොට්ඨාසය තුළ පොදුවේ මහාවාරි, සුළුවාරි හා අහස්දිය යටතේ මෙවර කුඹුරු අක්කර 9340ක පමණ ප්‍රමාණයක මෙවර වී වගාකර ඇති බවත්ය. එයින් සුළු බිම් ප්‍රමාණයක මේ වනවිට වී අස්වනු නෙළීම සිදුවී ඇති බවත් ඉදිරි දින කිහිපය ඇතුළත මහාපරිමාණයෙන් වී අස්වනු නෙළීම ආරම්භ වන බවත් එහිදී අනාවරණය විය.
මෙහිදී ඉහළපුලියන්කුලම ප්‍රදේශයේදී අපට හමුවූ ගොවීන් කිහිප දෙනෙකු කියා සිටියේ පැවැති අධික වර්ෂාව නිසා දිළීර ඇතුළු විවිධ ලෙඩ රෝග වැළඳීමෙන් මෙවර වී අස්වැන්නේ අඩුවක් පවතින බවත් එම නිසා වගාවෙන් පාඩු වී ඇති බවත්ය.
රජයේ සහතික මිලට වී විකිණීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඔවුන් කියා සිටියේ වී වියැළීම, ප්‍රවාහණ දුෂ්කරතා, හා සමහරුන්ට අලෙවි කිරීමට තරම් වී තොග නොතිබීම මෙන්ම සහතික මිල සම්බන්ධයෙන්ද සෑහීමකට පත්විය නොහැකි තත්වයක් මත රජයේ ගබඩාවලට වී නොළැබීමට හේතුවක් වී ඇති බවත් ඊට විසඳුම් ලබාදීමට රජය මැදිහත්විය යුතු බවත්ය.