ඇඹිලිපිටිය සිට බදුල්ල දක්වා ගමන්ගත් වෑන් රථයක් අද (27දා) හල්දුම්මුල්ල පුස්සැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කළ බව හල් දුම්මුල්ල පොලිසිය පැවසීය.
තුවාලකරුවන් අටදෙනා අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ කාන්තාවන් පස් දෙනෙකු සිටින බවද ඔවුන් සියලු දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා හල්දුම්මුල්ල දිසාරෝහලින් දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග පැවසීය. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙසේ අනතුරට ලක්වී තුවාල ලබා තිබේ.
වෑන් රථය පාරෙන් ඉවතට පැන නවතා තිබූ යතුරුපැදියක්ද යට කරගෙන නිවසක් ඉදිරිපිටට පෙරළී තිබූ බවද පොලිසිය පැවසීය.
අපරික්ෂාකාරී ලෙස රියධාවනය කිරීම මෙම අනතුරට හේතු වන්නට ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වන බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ රථ වාහාන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. ඩී. තිලකසිරි මහතා පැවසීය. හල්දුම්මුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.