වැස්ස තවත් වැඩිවෙයි


දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (09දා) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවද පෙන්වා දෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී.50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40-50 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර, සුළඟේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-65  දක්වා වැඩි විය හැකි බවද පෙන්වා දෙයි.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම සහ කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැකි බවද සඳහන් කරයි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම සහ කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවද පෙන්වා දෙයි.



Recommended Articles