වැල්පාලමේ ගමනේ සියයට 75 ක් අවසන්


රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බවත්, වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම සැප්තැම්බර් 21 වනදා පක්ෂ පාට බේදයෙන් තොරව සියලු ජනතාව රට වෙනුවෙන් එක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැල්පාලමේ ගමනේදී ගෘෂාට මුහුණ දීමට සිදුවූයේ එක නතාලියා කෙනෙකුට වුවද තමාට  නතාලියා දෙදෙනෙකුට මුහුණ දීමට සිදුව ඇති බව පැවසූ ජනාධිපතිවරයා දරුවාගේ අයිතිය ඉල්ලා ඒ දෙදෙනාම කෑ ගැසුවද තමන් වැල් පාලමේ ගමන අවසන් කර රට ජයග්‍රහණය කරවන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

"අද අප මුහුණ දෙන්නේ ඉතා වැදගත් මැතිවරණයකටයි. මෙවර මැතිවරණය ජනතාවගේ අනාගතය තීරණය කරන මැතිවරණයක් බව කිවයුතුයි. සමෘද්ධිමත් හොඳ ආර්ථිකයක් ඇති රටක් අවශ්‍යද නැත්නම් පෝලිම් යුගයකට යනවාද කියා මෙවර මැතිවරණයේදී ජනතාව 
තීරණය කළ යුතුයි. ඒ නිසා නැවත පොලිම් යුගයකට යාමේ වරද සිදු නොකර අප සියලුදෙනා රටක් ලෙස ඉදිරියට යමු කියා මා ජනතාවගෙන් ඉල්ලනවා.

විමලවීර දිසානායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා එතුමා හැමදාම මේ වේදිකාවේ මාව විවේචනය කළ කියලා. මෙම වේදිකාවේ සිටින අප එදා දේශපාලන වශයෙන් විවේචන කර ගත්තා. නමුත් සියලුදෙනා බෑ කියපු අවස්ථාවේ අප එකට එක්ව රට වෙනස් කළා. අපි 
කිසිවෙක් දේශපාලනය දිහා බැලුවේ නැහැ. අපට අවශ්‍ය වුනේ මේ රටේ ජනතාව ජීවත් කරවීමටයි.

රටේ ජනතාව ආහාර නැතිව, ඖෂධ නැතිව දුක් විඳින විට ඉන්ධන සහ ගෑස් පෝලීම්වල දුක් විඳින විට එදා සජිත් හා අනුර ඒ දුක දැක්කේ නැහැ. නමුත් අපට ජනතාවගේ දුක ඉවසාගත නොහැකි නිසා දේශපාලනය පසෙක දමා ජනතාව ජිවත් කරවීම වෙනුවෙන්   
එක් වුණා. අපි එකතුවෙලා මේ රටේ ආර්ථිකය ගොඩනැඟුවා.

ආර්ථිකය කඩා වැටුණු ලෝකයේ අනෙකුත් රටවල් දෙස බැලු විට එම කිසිඳු රටක් මෙවන් වේගයකින් සාමාන්‍ය තත්ත්වයට පත්ව නැහැ. නමුත් අප එම වාර්තාව තබා තිබෙනවා. අපට දැන් තිබෙන්නේ 2022 පැවති තත්ත්වයට රට ගෙන යාම නොවෙයි. රට 
දියුණු කිරීමයි.   ඒ සමඟ අප මෙම අම්පාර දිගාමඩුල්ල දැවැන්ත සංවර්ධනයකට ගෙන එනවා. මහවැලියෙන් අත්හැරුණු කලාප කෘෂිකර්මාන්තය වෙනුවෙන් විවෘත කරනවා. ඒ වගේම මුහුදු කරයේ ධීවර කර්මාන්තය දියුණු කරනවා. ඒ අතරම පානම සිට 
නිලාවේලි දක්වා දියුණු සංචාරක කලාපයක් ඇති කරනවා.

මම ආපසු හුණුවටයේ කතාව සිහිපත් කළ යුතුයි. දැන් අප වැල්පාලමේ 75%ක් පමණ දුර පැමිණ තිබෙනවා. වැටෙන්නේ නැතිව ඉතිරි ටික යා යුතුයි. වැල්පාලමේ ගමනේදී ගෘෂාට මුහුණ දීමට සිදුවුයේ එක නතාලියා කෙනෙකුට පමණයි. නමුත් මට නතාලියා දෙදෙනෙකුට මුහුණදීමට සිදුව තිබෙනවා.   දරුවා මට ඕන කියා නතාලිනා දෙදෙනාම කියනවා.

එදා මේ රටේ ජනතාව දුක් විඳින විට මේ නතාලියා දෙදෙනා කොහෙද හිටියේ කියා මම අහනවා. අප වැල්පාලමේ ගමන අවසන් කර නතාලියා දෙදෙනා පන්නා දමමු කියා මම ජනතාවට කියනවා. පක්ෂ, පාට බේදයෙන් තොරව අප සියලුදෙනා එක්ව රට ලබාගත් මේ 
ආර්ථික ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මම ඉල්ලනවා.



Recommended Articles