වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන්ගෙන් රු. මිලියන 6ක් දඩ අරගෙන


පසුගිය දින කිහිපයේ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන්  170කට අදාළ , දැනට පැවරූ නඩුවලින්  රුපියල් මිලියන 6.5ක  (රුපියල් මිලියන හයයි දශම පහක්) දඩ මුදලක් අයකරගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල්  අලෙවිකරන වෙළෙඳුන් සොයා  සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බවද අධිකාරිය පෙන්වා දෙයි.

ඊයේ (28) දිනයේදී මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් මහනුවර නගරය සහ අවට ප්‍රදේශ ඇතුළු මාවනැල්ල,පේරාදෙණිය, ගෙලිඔය, ගම්පල, උදුපුස්සලාව, නාවලපිටිය, උලපනේ, තැන්නේ කුඹුර, කුණ්ඩසාලේ, දිගන, කඩුගන්නාව යන ප්‍රදේශ ආවරණය කරමින් වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන් සොයා අතිරේක කණ්ඩායම් 05ක්  විශේෂ වැටලිම් සිදුකර තිබේ.

මේ අනුව  වැඩි මිලට සහල් අලෙවි කළ සමාගම් දෙකක් ඇතුළු වෙළෙඳුන් 25 දෙනෙකු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවද එම අධිකාරිය සඳහන් කරයි.

ඊයේ  දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වල දී වැඩි මිලට සහල් අලෙවි කළ පිටකොටුව ප්‍රදේශයේ සමාගමක් වරද පිළිගැනීමෙන් පසුව  රුපියල් 750,000.00  ක දඩ මුදලක් සහ පිටකොටුව ප්‍රදේශයේ තනි පුද්ගල ව්‍යාපාර 3ක් සඳහා  එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් 250,000.00 බැගින් ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කළ බව පෙන්වා දෙයි. 

පසුගිය දිනවල මාතර  දිස්ත්‍රික්කයේ  වෙළෙඳුන් 10 දෙනෙකු අධිකරණවලට  ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව එක ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂය බැගින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර ඇත.

ඒ අනුව පසුගිය දිනවල සහ ඊයේ  දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වලට අදාළව පමණක් සහල් වැඩි මිලට අලෙවිකරන ලද වෙළෙඳුන්ට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අදාළ අධිකරණ මගින් නියම කර ඇති අතර තවදුරටත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා විමර්ශන ක්‍රියාත්මක වන බවද පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.
 



Recommended Articles