පෞද්ගලික මෝල් හිමියන් ගොවියන්ගෙන් වැඩි මිලකට වී මිලදී ගත්තද හාල් මිල තීරණය කිරීමේ බල අධිකාරිය රජය යටතේ තබා ගන්නා බවත් පාරිභෝගික සේවා අධිකාරිය තවත් ශක්තිමත් කොට වැඩි මිලට හාල් අලෙවි කරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා මෙම අදහස් පලකර සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
"දැනට ගොවීන්ගේ කටයුතු සඳහා මැදිහත් වන්නේ රජය. පොහොර ජලය දෙන්නේ රජයෙන්. ඒ සඳහා වියදම් කරනු ලබන්නේ පොදු ජනතාවගේ ධනය. එම නිසා ගොවීන්ටත් යම්කිසි ආකාරයක වගකීමක් තිබෙනවා සාරිභෝගිකයාගේ පැත්ත ගැනත් සිතන්න. එහෙම හිතන ගොවීන් මේ වන විට වී අලෙවි මණ්ඩලය වෙත වී රැගෙන එමින් සිටිනවා.
පෞද්ගලික වී මෝල් හිමියන් ගොවියන්ගෙන් කුමන ගණනකට වී මිලදී ගත්තද රජයේ අනුමත හාල් මිලට වැඩියෙන් තඹ සතයක් හෝ වැඩිකර අලෙවි කිරීමට ඉඩ තබන්නේ නැහැ.
වී අලෙවි මණ්ඩලයට වී ලබාදීම දැන් ආරම්භ වී තිබෙනවා. අම්පාර ප්‍රදේශයෙන් විශාල වී තොගයක් ලැබුණා. පෞද්ගලික අංශයත් වී මිලදී ගැනීම සිදු කරමින් පවතිනවා. ගොවියාට වී මිල පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් ඇතිවී නැහැ. ඒ පිළිබඳව අප සතුටු වෙනවා.
මීට පෙර සිදුව තිබූ තත්ත්වය වී තිබුණේ ගොවියාට නිෂ්පාදන මිලටත් අඩුවෙනුයි වී අලෙවි කිරීමට සිදුව තිබීමයි. නමුත් දැන් එහෙම තත්වයක් නැහැ."
මෝල් හිමියන් තොග අලෙවිකරුවන්ට හාල් මුදා හැරීමේදී ඊට සහතික මිලක් නියම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා හැකි තරම් උත්සාහ කරනුයේ පිටරටින් හාල් ආනයනය නොකර කටයුතු කිරීමට වුවත් පාරිභෝගිකයාගේ පැත්තෙන් සිතා අවශ්‍ය වුවහොත් පිටරටින් හාල් ආනයනය කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.