වැටුප් වැඩි කර ගැනීම ගැන පැහැදිලි කිරීමට මහ බැංකුව සූදානම්ලු


2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ අවසන් වරට සිදු කළ වැටුප් සංශෝධනය පිළිබඳ ව ඇතැම් පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් පසු ගිය දින කිහිපයේ දී පාර්ලිමේන්තු සභාවාරයන්හි දී දක්වන ලද අදහස් සහ ප්‍රකාශ පිළිබඳ ව මාධ්‍යයන්හි විවිධ පුවත් පළ වී ඇති අයුරු ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි.

මෑතක දී සිදු කරන ලද මහ බැංකු වැටුප් සංශෝධන ක්‍රියාවලිය හා වැටුප් සංශෝධනය කිරීමට හේතු පාදක වූ කරුණු පිළිබඳ ව යෝග්‍ය පාර්ලිමේන්තු කමිටුවක් හරහා පාර්ලිමේන්තු සාමාජිකයන්ට පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස, සාමාන්‍යයෙන් මහ බැංකුව පාර්ලිමේන්තුව සමග සන්නිවේදනය කරනු ලබන ආකාරයට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා වෙත, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 (2) (ආ) වගන්තිය ප්‍රකාර ව ඉල්ලීමක් කරන ලෙස, 2024 පෙබරවාරි මස 21 දින පැවති පාලක මණ්ඩල රැස්වීමේ දී පාලක මණ්ඩල සාමාජිකයන් විසින් අධිපතිතුමාගෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව, අධිපතිවරයා විසින් 2024 පෙබරවාරි මස 22 වන  දින ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලදී බව මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව මහ බැංකුව එම ඉල්ලීමට අනුව ලැබෙන අවස්ථාවක දී හෝ තොරතුරු ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමක දී සිය ස්ථාවරය පැහැදිලි කිරීමට සූදානම් බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Recommended Articles