වසර හයක් තිස්සේ දුම්රිය එන්ජින් 78ක් කොට උඩ


අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කොට තිබූ දුම්රිය එන්ජින් 78ක් අලුත්වැඩියා  කිරීම සිදු නොකොට, 2017 වර්ෂයේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා වසර 06ක කාලයක් තුළ ධාවනාගාරවල හෝ රත්මලාන ප්‍රධාන දුම්රිය වැඩපළෙහි රඳවා ගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නොවැම්බර් 29 දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව M Class එන්ජින් 103 ක් තිබෙන අතර, ඉන් එන්ජින් 47ක් අලුත්වැඩියා කටයුතු සඳහා ධාවනයෙන් ඉවත් කොට ඇත. M Class වර්ගයේ එන්ජිමක වටිනාකම රුපියල් මිලියන 150ත් 765ත් අතර වන බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම රුපියල් මිලියන 8 සිට 218 අතර දක්වා වටිනාකමට මිලදී ගෙන තිබූ S Class එන්ජින් 133ක් අතුරින් එන්ජින් 31ක් අලුත්වැඩියා සඳහා යොමුකොට වසර 07කට අධික කාලයක සිට අලුත්වැඩියා කටයුතු සිදු නොකොට ධාවනාගාරවල රඳවා ගෙන සිටින බවද විගණනය මගින් අනාවරණය කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තු විසින් 2019 වර්ෂයේදී රුපියල් මිලියන7650ක් වැය කොට M Two වර්ගයේ එන්ජින් 10ක් ධාවනයෙන්  ඉවත් කොට අලුත්වැඩියාව සඳහා යොමු කොට තිබුණි. M Class වර්ගයේ එන්ජින්වල ක්‍රියාකාරීත්වය ඉහළ තත්ත්වයක් පෙන්නුවද මෑතකදී මිලදී ගත් එන්ජින්වල ක්‍රියාකාරීත්වය දුර්වල වීමට තාක්ෂණික සහ වෙනත් අඩුපාඩු හේතු වී තිබූ බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

චන්දන සමරවික්‍රම

 



Recommended Articles