වරායේ මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට නොදෙයි


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් හට ආහාර ලබාදෙන මුළුතැන්ගෙය තවදුරටත් වරාය අභ්‍යන්තරයෙන්ම මෙහෙයවීමට තීරණය කර තිබේ.

මෙම මුළුතැන්ගෙය දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස සැලකෙන බව නිලධාරීන් පවසන අතර, නව ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත මෙම වරාය අධිකාරියේ මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට ලබා දීම වහාම අත්හිටුවා ඇත. සේවකයන් සඳහා වරායේ මුළුතැන්ගෙයින් ආහාර තුන් වේලටම සැපයෙන අතර, පහුගිය ආණ්ඩු සමයේ අවසන් භාගයේදී හිටපු අමාත්‍යවරයාගේ නියෝගයෙන් මුළුතැන්ගෙය ටෙන්ඩර් කැඳවා පෞද්ගලික අංශයට ලබා දෙන්නට තීරණය කර තිබුණි. 

ඒ අනුව වරාය මුළුතැන්ගෙය තවදුරටත් අභ්‍යන්තරයෙන්ම මෙහෙයවන පරිදි පවත්වාගෙන යන අතර, ආහාරවල රසය සහ ගුණාත්මකභාවය වඩාත් වැඩි කර කාර්යමණ්ඩලයට තෘප්තිමත් ලෙස වැඩ කටයුතුවල යෙදෙන්නට අවස්ථාව සලසා දෙන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ. 

ඊට අමතරව තවදුරටත් මේ සඳහා මැදිහත් වුණ ඇමතිවරයා මුළුතැන්ගෙයහි අඩුපාඩු සියල්ල සොයා බලා ප්‍රතිසංස්කරණයක් සිදුකර නව උපකරණද ලබා දී දියුණු තත්ත්වයෙන් පවත්වා ගෙන යන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.  

උදේ හා දිවා ආහාර 5500 – 6000ක් අතර ප්‍රමාණයක්ද රාත්‍රී ආහාර 3000 – 3500 අතර ප්‍රමාණයක්ද සැපයයි. විශේෂයෙන් කොවිඩ් වසංගත සමයේදී ඊට අදාළ බොහෝ සේවාවන් සිදු කළ හමුදා සහ පොලිස් නිලධාරීන්ටද ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලයේ නිලධාරීන්ටද ආහාර සැපයුවේ වරායේ මුළුතැන්ගෙයිනි.   

 



Recommended Articles