වතු කම්කරු දෛනික වැටුප රු 1350ක් කරන්න එකඟතාව


වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන් හා රජය මෙන්ම වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.

මෙම සාකච්ඡාව පඩි පාලක සභාවේදී අද (10දා) පවත්වා තිබේ. මෙම සාකච්ඡාව සඳහා කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්වී තිබුණි.

.රුපියල් 1,000ක් පැවති වතු සේවක දෛනික අවම වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නංවමින් ඉකුත් අප්‍රේල් 30 වනදා රාත්‍රියේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණත් එම ගැසට් නිවේදනයට එරෙහිව වැවිලි සමාගම් අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කෙරිණි.

ඒ අනුව වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ජුලි 4 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

පසුව වතුකම්කරුවන්ගේ දෛනික අවම වැටුප 1,700ක් බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජුලි 24 වනදා කටයුතු කර තිබුණි.

ඉන් අනතුරුව වතු සමාගම් 21ක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම ඉකුත් අගෝස්තු 06 වනදා අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගැනුණි.

 



Recommended Articles