වගාවට හානි කරන සතුන් ඝාතනය කළ යුතු යැයි කිසිම අවස්ථාවක කීවේ නෑ


ගොවින්ගේ වගාවට හානි කරන වන සතුන් ඝාතනය කළ යුතු බව තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර  නොමැති බවත් පරිසරවේදීන් එම ප්‍රශ්නයට මැදිහත් වීමත් ගොවියන්ට එවැනි දැවෙන ප්‍රශ්නයක් තිබෙන බව ඔවුන් අවබෝධ කර ගැනීම වැදගත් බව ද කෘෂිකර්ම වාරි මාර්ග පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ අද (11) වත්මන් රජයේ ප්‍රථම මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ වන සතුන්ගෙන් සිදුවන වගා හානි අවම කර ගැනීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ඒකකයක් සෑම ග්‍රාම සේවා වසමකම ස්ථාපිත කිරීමට තීරණය කළ බවයි.

ගොවීන්ගේ වගා හානි අවම කර ගැනීම සඳහා වායු රයිෆල් ලබා දෙන්නේ නම් එම ප්‍රමාණය සම්බන්ධයෙන් ගම් මට්ටමෙන් ස්ථාපිත කරනු ලබන එම ඒකක මගින් තීරණය කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය. වගා හානිවලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදෙන තෙක් එවැනි වායු රයිෆල් වැනි කෙටිකාලීන විසඳුම් වලට යා යුතුව තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

වන සතුන්ගෙන් වගා භූමි ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගොවියන්ට දැනුම හා පුහුණුව ලබාදිය යුතුව තිබෙන බව පැවසූ අමාත්‍යවරයා ගොවීන්ගේ යෝජනා ද ලබා ගනිමින් මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුව තිබෙන බවද පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ගොවි සංවිධාන 1555ක් තිබෙන බව පැවසූ අමාත්‍යවරයා මීළඟ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පෙර එම ගොවි සංවිධාන නියෝජිතයින්ගේ යෝජනා ලබා ගන්නා ලෙස ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද අවධාරණය කළේය. 



Recommended Articles