වංචා දූෂණ හොයන්න ආපු නිලධාරීන්ට භෝජන සංග්‍රහයක් දිලා


මහනුවර මහ නගර සභාවේ දූෂණ වංචා පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි මධ්‍යම පළාත් සභාවේ ඉහළ නිලධාරීන් පිරිසකට මහනුවර මහ නගර සභාවේ නිලධාරීන් විසින් දිවා ප්‍රිය සම්භාෂණයක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී. අබේකෝන් මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ .

මහනුවර මහ නගර සභාවෙහි සිදුව ඇති බව කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිද්ධීන් සම්බන්ධයෙන් ගෙන ඇති අභ්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මාතා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් ඉකුත් 11 වැනි දින නගර සභාවට පැමිණි අවස්ථාවේදී රුපියල් ලක්ෂ ගණනක් වැය කොට එම දිවා භෝජන සංග්‍රහය පවත්වා ඇති බව සඳහන් වේ .

එම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පළාත් සභා සහ නගර සභා දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසා තිබේ .

මහනුවර මහ නගර සභාවේ වරිපනම් එකතු කිරීම, නිවාස හා ව්‍යාපාරික ස්ථාන සැලසුම් අනුමත කිරීම, කඩ ටෙන්ඩර් කිරීම ඇතුළු විවිධ මිලදීම් ගැනීම්වලදී මහා පරිමාණ වංචා සිදුව ඇති බවට විගණන විමසුම්වලදී අනාවරණය වී තිබේ .

එම වංචා දූෂණවලට සම්බන්ධ වූ නගර සභාවේ නිලධාරීන් වසර 10-15 ක කාලයක් කිසිදු ආකාරයකට පිටස්තර දෙපාර්තමේන්තුවකට ස්ථාන මාරුවක් නොලැබ නගර සභාව තුළම අභ්‍යන්තර මාරුවීම් සිදු කරගනිමින් සිටින බවටද විගණන විමර්ශනවලදී අනාවරණය වී තිබුණි .

ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මධ්‍යම පළාත් නිලධාරීන් පැමිණි අවස්ථාවේදී දූෂණ වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලබා ඇති නිලධාරීන් ද එම සාකච්ඡා සඳහා එකම මේ සේ වාඩිවී සහභාගි වී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙන අතර ඉන් අනතුරුව මහනුවර ඉහළම පෙළේ හෝටලයකින් සංවිධානය කොට තිබූ දිවා ආහාරයට ද එම නිලධාරීන්ද සහභාගි වී තිබෙන බව හෙළිවී  තිබේ .

රජයේ මුදල් වැයකොට සිදුකරන කටයුතු සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්ති හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සියලුම රාජ්‍ය ආයතන දැනුවත් කොට තිබියදී නගර සභාව මගින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් මෙම දිවා ආහාරය වෙනුවෙන් වැයකොට තිබීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ වී තිබේ .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම සැලකිල්ලට ගනිමින් එම දිවා භෝජන සංග්‍රහය සඳහා වැය වූ මුදල් නගර සභා අරමුදලෙන් නොගෙවා එය භුක්ති විඳි නිලධාරීන්ගෙන් සහ සේවකයන්ගෙන් අයකර ගැනීමට නගර සභා පරිපාලනය මේ වනවිට ක්‍රියා කරමින් සිටින බව ද දැනගන්නට ඇත .

 



Recommended Articles