ලොකු ලූණු බීජ නිපදවීමට රු. කෝටි 33ක් වැය කළත් බීජ නිපදවිම සියයට 84කින් පහළට


කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර අටක කාලයෙහි ලොකු ලූනු බීජ නිෂ්පාදන ව්‍යාපෘති දහයක් ක්‍රියාත්මක කිරිම සඳහා රුපියල් තිස්තුන් කෝටි, හැත්තෑ එක් ලක්ෂ, හැත්තෑදහස්හත්සිය අනුදෙකක මුදලක් (337,170,792) වැයකොට ඇතත් දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනය සියයට 84කින් පහළ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව 2014 වර්ෂයේ දී මෙරට මෙට්‍රික්ටොන් 98,900ක් වූ දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනය 2022 වර්ෂය වනවිට මෙට්‍රික්ටොන් 15840ක් දක්වා මෙට්‍රික්ටොන් 83,060කින් අඩුවි තිබේ.

නිවැරදි අධ්‍යයනයකින් පසු ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ වගාවට යොමුවන ගොවීන් සංඛ්‍යාව හා සමස්ත වගා බිම් ප්‍රමාණය අඩුවීමත් මත සමස්ත ලොකුලූනු වගා අස්වැන්න පසුගිය වසර දහයක කාලයෙහි සැලකිය යුතු මට්ටමකින් පහළගොස් ඇති බවය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.



Recommended Articles