ලාංකික ගුවන් මගින්ට තිරු බදු රහිත භාණ්ඩ මිලදි ගැනීමට අවස්ථාව


ලොවපුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට , මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමි  තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .

මේ ආකාරයට මේ වනවිට විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 13,000 ක තරම් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර ඇති බවත් , ඒ වනවිට පැවති තත්ත්වයන් යටතේ ඔවුන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබූ බවත් සභාපතිවරයා පැවසීය .

දිනකට 100 බැගින් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් කැදවා ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ඔවුන්ට උදා කර දෙන බව ද සභාපතිවරයා පැවසීය .

මෙම වැඩසටහන ගුවන් තොටුපළ බලධාරීන් , ශ්‍රී ලංකා රේගුව , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සංවිධානය කරන වැඩසටහනක් බවත් , එසේ මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් මේ සදහා තම නීරෝධායන කටයුතු නිමා කළ බවට සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන සහතිකය , ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු තවත් ලිපි ලේඛන කීපයක් ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ගුවන් තොටුපළ සභාපති ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .

කෙසේ වෙතත් මේ පිළිබඳව සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ඉදිරි දින කීපය ඇතුළත ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ නිකුත් කරන බවත් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය .



Recommended Articles