ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙකුගේ කෝටි 7ක දේපළ කොල්ලකාලා


ලග්ගල දේවාලදෙනිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වී නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාණන්ගේ දෑත් දෙපා ගැටගසා 10 දින රාත්‍රියේ රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් ස්වර්ණාභරණ සහ මුදල් මෙන්ම මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි.

  පැහැරගෙන ගිය මෝටර් රථය ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම   ප්‍රදේශයේ මහා මාර්ගය අසල දමා ගොස් තිබියදී 11 දින පෙරවරුවේ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

   ලග්ගල  ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු වන සුසන්ත ප්‍රදීප් කුමාර නොහොත්  පොඩි රෝහණ  නැමැති ව්‍යාපාරිකයාගේ මුදල් රන් භාණ්ඩ මෙන්ම කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක් මෙසේ සොරාගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි

   රාත්‍රී නමය පසුවනවාත් සමග මෙම ව්‍යාපාරිකයා නිවසට පැමිණ   නිවස ඉදිරිපිට බුදු මැදුරේ බුදුන් වැඳීම සිදුකරමින් සිටියදී නිවස පිටුපස තාප්පයකින් පැන පැමිණි  මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් පස් දෙනෙකු පිස්තෝලයක් හිසට තබා ඔහුගේ දෑත් දෙපා සෙලෝ ටේප් වලින් අලවා ඔහු ඔසවාගෙන ගේ තුලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

 නිවස තුළ සිටි ඔහුගේ පියාගේ මෙන්ම බිරිඳගේ දෑත් දෙපා ගැටගසා නිවස තුළ තිබුණු මුදල් රන්  භාන්ඩ , මැණික් ගල්,ජංගම දුරකථන  මෙන්ම මෝටර් රථය ද රැගෙන ගිය බවත් ඔවුන් පිටව යන අවස්ථාවේදී ඔහුගේ පියාගේ දෙපා ලෙහා දමා ගොස් ඇතැයි පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම මහමග දමා ගොස් තිබුණු මෝටර් රථය පොලිස් පරීක්ෂාවට ලක් කෙරිනි, දඹුල්ල පොලිසියට අයත් නිල පොලිස් සුනඛ අංශයේ  "ගියෝ" නැමති පොලිස් නිල සුනඛයා රැගෙන ගොස් මංකොල්ලයට පැමිණි අය දමා ගිය බවට සැක කරන පාවහන් යුගලයක් ලබා දීම ඔවුන් ගමන් ගත්තු මාර්ගය පිළිබඳව පරීක්ෂා කිරීම  පොලිසිය විසින් 11 දින පෙරවරුවේ සිදු කරනු ලැබීය.

 නිවාස ආසන්නයේ   සිට  මද දුරක් ගොස් නිල සුනකයා විසින්   සැකකරුවන් ඇතැම් විට නැවතී සිටි ස්ථානයක් නිරීක්ෂණය වූ බව පොලිසිය කියයි, පසුව කිලෝමීටර් තුන් කාලක් පමණ ප්‍රධාන මාර්ගය දිගේ ගොස් වෙනත් අතුරු මාර්ගයකින් මෙම නිල සුනඛයා නවතින බව පොලිසිය සඳහන් කළේය.

මෙම ව ්‍යාපාරිකයා බිරිඳ සහ ඔහුගේ පියා  මේ වන විට විද්‍යාත්මක පරීක්ෂණ කටයුත්තක් සඳහා දඹුල්ලක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

 මෙම නිවස වටේටම තාප්ප ගසා   ආරක්ෂිත කැමරා පද්ධති සවිකොට ගේට්ටු දමා දැඩි රැකවරණයක් දමා තිබුණු බවද පොලිසිය සඳහන් කර සිටියේය කෙසේ වෙතත් ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්තයන් මෙම කණ්ඩායම විසින් රැගෙන ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles