වසර 13 කට පෙර ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ සමාගමක් සහ තායිලන්තයේ විදේශ සමාගමකින් මෙරටට ගෙන්වන ලද බස් රථ අමතර කොටස්වලට නියමිත කාලසීමාවෙහි ගෙවීම් සිදු නොකිරීම නිසා රුපියල් කෝටි හතළිස් හයකට අධික මුදලක් අමතර මුදල් ලෙස ගෙවීමට ගමනාගමන මණ්ඩලයට සිදුවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2025/01/ 31 දින නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.
මෙම සමාගම් දෙකෙන් මුලින්ම අමතර කොටස් ගෙන්වා ඇත්තේ 2011 වර්ෂයේ මාර්තු මාසයේ වන අතර එලෙස ගෙන්වන ලද අමතර කොටස් තත්ත්වයෙන් බාලවීම නිසා එම අමතර කොටස් ප්‍රතික්ෂේප කර නැවත ටෙන්ඩර් පටිපාටියට යන ලෙස කමිටුව මගින් නිර්දේශ කර ඇත.
එහෙත් එම නිර්දේශ නොසලකා 2012 වර්ෂයේ සිට ගමනාගමන මණ්ඩලය නැවත වසර 04 ක් අඛණ්ඩව රුපියල් එකසිය අනූ හතර කෝටි විසි ලක්ෂයක් වටිනා අත්‍යවශ්‍ය නොවන අමතර කොටස් මිලදීගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවෙහි සඳහන් වෙයි. ඒවායින් බොහොමයක් රත්මලාන සහ වත්තල ප්‍රදේශයේ ගබඩාවල නිෂ්කාර්යව පවතින බවද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.
මෙලෙස ගෙන්වූ අමතර කොටස් සඳහා ද මණ්ඩලයට ගෙවීම් ප්‍රමාද කර ඇති හෙයින් සැපයුම්කාර සමාගමට බේරුම්කරණ නඩුවක් පවරා ඇති අතර එම තීන්දුව වී ඇත්තේ රුපියල් හැටහය කෝටි හතළිස් ලක්ෂයක් සැපයුම්කරුට ගෙවීමටය.
එහෙත් එම මුදල ද මණ්ඩලය මගින් ගෙවා නොමැති අතර සැපයුම්කරු 02 වැනි වරටත් බේරුම් කරණ නඩුවක් පවරා ඇත. එම තීන්දුව ප්‍රකාරව මණ්ඩලය රුපියල් එකසිය දොළොස් කෝටි හැට ලක්ෂයක් සැපයුම්කරුට ගෙවා ඇත.
මේ නිසා ගමනාගමන මණ්ඩලයට සිදුවී ඇති පාඩුව රුපියල් හතළිස් හය කෝටි විසි ලක්ෂයක් බවද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.
චන්දන සමරවික්‍රම