ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ චීනය ලබන වසරේදී ඇගයීමක් කරයි


ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ නව වසරේදී සම්පූර්ණ ඇගයීමක් සිදුකිරීමට චීන රජය කටයුතු කරන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි. එහිදී ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමටත් අපේක්ෂා කරන බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේය. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ චීන ආධාර යටතේ පුහුණු වූවන් වෙනුවෙන් කොළඹ අද (31දා) පැවති උත්සවයකට එක්වෙමිනි.ඊට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මෙසේ සඳහන් කළේය.

"ශ්‍රී ලංකාව සමග සියලු ක්ෂේත්‍රයන්හි අධ්‍යාපන සහයෝගිතාවක් පවත්වාගැනීම චීන රජය අතිශය වැදගත් කොට සලකනවා. වසර ගණනාවක් මුළුල්ලේ චීනයේ දී ශ්‍රී ලාංකිකයන් එවැනි විවිධ පුහුණු වැඩසටහන්වලට සහභාගි කරවීමට අපේ විදේශ ආධාර මුදල් යොදාගත්තා. මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට දහසකට වැඩි ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන ක්ෂේත්‍ර 17ක් ආවරණය කරන පුහුණු වැඩසටහන් සඳහා චීනයට ගොස් තිබෙනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග මානව සම්පත් සහයෝගිතාව වැඩිදියුණු කිරීමට චීන රජය අඛණ්ඩව කටයුතු කරනවා. නව වසරේදී ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධනය අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීන රජය කටයුතු කරනවා. එහිදී ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමටත් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව සහ චීනය අතර මිතුදම සදාකල් පවතීවායි මම ප්‍රාර්ථනා කරනවා." 

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා,"විශේෂයෙන් අර්බුදකාරී සමයේ දී ශ්‍රී ලංකාවට ආර්ථික අභියෝග ජයගැනීම සඳහා සහායවීමට චීනය ණය සහ මූල්‍යාධාර ලබාදුන්නා. සමස්තයක් ලෙස චීනය අඛණ්ඩව ලබාදෙන සහාය ආර්ථික වර්ධනය සහ නවීකරණය සඳහා ශ්‍රී ලංකාවේ අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට සැබැවින්ම වැදගත්වනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම ක්‍රියාවලියේ දී චීනය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව කිවයුතුයි. හරියටම වසරකට පෙර, 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී චීනය ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් අතුරින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රකෘතිමත් එකඟතාවක් ප්‍රකාශයට පත් කළ ප්‍රථම රට වෙනවා. ශ්‍රී ලංකාව චීන එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය සඳහා එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි එකඟතාව ඇතිවුණා. එම එකඟතාව බලාත්මක වීමත් සමග ණය ප්‍රතිකර්ම ක්‍රියාවලිය අවසන් කළ පළමු බාහිර ණය හිමියා බවට පත්වුණේ චීන එක්සිම් බැංකුවයි. චීන සංවර්ධන බැංකුවට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද විශිෂ්ට ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා." 

 



Recommended Articles