ලංකාවේ විශේෂිත ළමා රෝහල් දෙකේම එම්.ආර්.අයි. යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිතයි


 මෙරට තිබෙන  විශේෂිත ළමා රෝහල් දෙකේ ස්ථාපිත කර තිබෙන එම්. ආර්. අයි. (MRI) යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිත වී තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. 

කළුතර මහ රෝහලේ පවතින සී ටී ස්කෑන් යන්ත්‍රයද ක්‍රියා විරහිත වී තිබෙන නිසා රෝගී  ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව එම සංගමය පෙන්වා දෙයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍රය මීට සති දෙකකට පමණ පෙර ක්‍රියා විරහිත වී තිබෙන බවත්, පේරාදෙණිය ළමා රෝහලේ යන්ත්‍රය මීට වසර හතරකට පෙර ක්‍රියා විරහිත වී තිබෙන බවත් සංගමය සඳහන් කරයි.

කළුතර මහා රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍රය  2023 වසරේ පෙබරවාරි මාසයේ සිට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත. මෙම යන්ත්‍රය මෙරට  පවතින සිටි ස්කෑන් යන්ත්‍ර 44න්  ඉතා පැරණිම යන්ත්‍රය බවද සංගමය පෙන්වා දෙයි.

මෙම පැරණි යන්ත්‍රය වෙනුවට අලුත් යන්ත්‍රයක්  කළුතර මහ රෝහලට ලබා දීම සඳහා 2021 වර්ෂයේදී ටෙන්ඩර් කැදවීම සිදු කළද එය නිසි ලෙස  ක්‍රියාත්මක වී නොමැත.

ටෙන්ඩර් කැඳවීම යටතේ  සපයුම්කරුවකු තෝරා ගැනීමට අදාළව 2021 වර්ෂයේදීම  යන්ත්‍රය මිලදී ගැනීම සඳහා  සැපයුම් කරුවෙකු තෝරාගෙන ඇතත් තෝරාගත් සැපයුම්කරුට යන්ත්‍රය සැපයීමට අදාළ ලිපි නිකුත් කිරීම සිදු කළේ මේ වර්ෂයේ මුල් කාර්තුවෙහිදී බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ආරම්භයේ සිටම දැඩි මන්දගාමී ස්වරූපයකින් කටයුතු සිදුවූ මෙම ක්‍රියාවලියේ ණයවර ලිපි නිකුත් කිරීම මේ වසරේ ජූලි මාසයේ සිදු කිරීමට නියමිතව තිබුණත් මේ වනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම ණය වර ලිපි නිකුත් කිරීම සිදුකර නොමැති බව සංගමය සඳහන් කරයි. 

මෙම යන්ත්‍රය 2021 වර්ෂයේදී කැඳවූ මිල ගණන් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයිය යුතු අතර තවදුරටත් ප්‍රමාද වීමේදී පැරණි මිල ගණන් වලට යන්ත්‍රය සැපයීම ප්‍රශ්න සහගත වී ඇත. යම් හෙයකින් මෙම ටෙන්ඩර් ගනුදෙනුව අහෝසි කොට නැවත ටෙන්ඩර් කැඳවීමක් සිදුකළ හොත් යන්ත්‍රයක් මිලදී ගැනීමට සිදුවන්නේ වර්තමාන මිල ගණන් යටතේ ය.

නව යන්ත්‍ර වල මිල 2021 වසරට සාපෙක්ෂව දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, එවකට යන්ත්‍රය සැපයීමට නියමිතව තිබුණේ රුපියල් මිලියන 150 මුදලකට බවද සංගමය පෙන්වා දෙයි.මේ වන විට කළුතර මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය නොමැතිවීම හේතුවෙන් CT scan පරීක්ෂණ සිදු කළ යුතු රෝගීන් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල සහ හොරණ මූලික රෝහල වැනි රෝහල් වෙත ගිලන් රථ මගින් ප්‍රවාහනය කළ යුතුව තිබේ.

මෙම වසර දෙකක කාලයෙහි  රෝගීන් ප්‍රවාහනය සඳහා ඉතා විශාල මුදලක් වැයකර ඇති අතර මුල් අවධියේදී පුද්ගලික රෝහල්වලින් CT ස්කෑන් පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා රුපියල් කෝටි 5ට වැඩි මුදලක් වැයකොට ඇතැයිද සංගමය පෙන්වා දෙයි.



Recommended Articles