ලංකා ගුරු සංගමයෙන් රජයට දොස් මුරයක්


විදුහල්පති ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේද අපේක්ෂා භංගත්වයට පත්වන තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, අඩුම තරමින් ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් හෝ නොකරන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවත්, පාසල් පද්ධතිය තුළ දරුවන් ලක්ෂ ගණනින් මන්දපෝෂණයෙන් පෙළෙන බැවින් ඒ වේදිකාවල පොරොන්දු වූ කතා කළ පරිදි ඒ සඳහා විසඳුම් ලබා දිය යුතු බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (16දා) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ගුරු සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේ ගුරුවරුන්ගේ කරපිටින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වත්මන් පාලනය, ගුරුවරයාගේ, අධ්‍යාපනයේ සහ සිසු දරුවාගේ ප්‍රශ්න විසඳීම වගකීමක් බවත්, ඒ වෙනුවට සිදුකර ඇත්තේ ගුරුවරයා සම්පූර්ණයෙන්ම අමතක කිරීමක් පමණක් බවය.

නව පාලනයට කාලයක් ලබා දිය යුතු බව පිළිගන්නා නමුත්, පොරොන්දු වූ පරිදි අපේක්ෂිත බලාපොරොත්තු සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයක් කිරීම රජයේ යුතුකමක් බවද හෙතෙම සඳහන් කළේය.

ලෝක ළමා, වැඩිහිටි සහ ලෝක ගුරු දින පෙර සිටි සාම්ප්‍රදායික පාලකයන් මෙන් මේ පාලනය තුළද උත්සවවලට පමණක් සීමා කළද, අඩුම තරමින් ගුරු දිනය දවසේ ගුරුවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිලි කළ යුතුව තිබුණත්, අඩුම තරමින් ඒ සම්බන්ධයෙන් ඉඟියක් හෝ ලබා දී නැතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

පෙර පැවති පාලනයන් මෙන්ම මේ පාලනයද එකම පීල්ලක ගමන් කරමින් සිටින බව කී ඒ මහතා සඳහන් කළේ, පාසල් පද්ධතිය තුළ දරුවන් ලක්ෂ ගණනින් මන්දපෝෂණයෙන් පෙළෙන බැවින් ඒ වේදිකාවල පොරොන්දු වූ කතා කළ පරිදි ඒ සඳහා විසඳුම් ලබා දිය යුතු බවය.

පීඩනයෙන් පන්ති කාමරයට පැමිණෙන ගුරුවරයා සම්බන්ධයෙන් වත්මන් පාලනය පෙර පැවති පාලනයන් මෙන් ඇල්මැරුණු ස්වභාවයක් ගන්නා බවත්, එය මෙවර ගුරු දිනය සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරයෙන් තහවුරු වූ බවත් එය කනගාටුවට කරුණක් මෙන්ම, ඛේදවාචකයක් බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් තම සංගමයේ විරෝධය පළ කරන අතර, ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගුරු සංගම් සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම අවධාරණය කළේය.



Recommended Articles