රේගුව ආදායම් ඉලක්කයට යන්න සූදානම්


රේගු දෙපාර්තමේන්තුව මේ වසරේ ගෙවීගිය කාලය තුළදී රුපියල් බිලියන 1200ක් ඉක්ම වූ ආදායමක් උපයා ගෙන තිබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වසරේ ඉලක්කය රුපියල් බිලියන1533ක් බවත්, අදාළ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

පසුගිය වසරේදී රුපියල් බිලියන 975ක ආදායමක් උපයා ගෙන තිබෙන  බවත්, සාමාන්‍යයෙන් කොළඹ වරායෙන් දිනකට බහලුම් 1500ක් පමණ නිෂ්කාශනය වන අතර, එය දිනකට 2500ක් දක්වා වැඩි වන අවස්ථාද තිබෙන බව පෙන්වා දෙයි.
මෙම බහලුම්වලින් රේගු පරීක්ෂාවට ලක්වන්නේ 35%ක් පමණ ප්‍රමාණයක් වන අතර, ඉතිරි සියලු බහලුම් රේගු පරීක්ෂාවකින් තොරව පැය කිහිපයක් ඇතුළත නිදහස් කරන බවද සඳහන් කරයි.

රේගුව විසින් භෞතික පරීක්ෂාව සඳහා බහලුම් තෝරා ගනු ලබන්නේ, අවදානම් කළමනාකරණ මූලධර්ම මත පදනම්ව ඉහළ අවදානමක් ඇති බහලුම් වන අතර, මෙම පරීක්ෂාවන් නිසා පසුගිය වසරේදී රුපියල් බිලියන 15ක පමණ අමතර ආදායමක් උපයා ගෙන තිබෙන බවද සඳහන් කරයි.

පරීක්ෂා කරන බහලුම්වලින් 65%ත් 70%ත් අතර ප්‍රමාණයකින් යම්කිසි රේගු වරදක් සොයා ගැනෙන බවත්, ඊට අමතරව අය කරගත යුතු බදු සුරක්ෂිත වීම්ද, රේගු වරදවලට පෙලඹවීම්ද මෙමගින් අවම කරන බවද පෙන්වා දෙයි.

එමෙන්ම භාණ්ඩවල ප්‍රමිතිය, ආහාරවල සුරක්ෂිතතාවය, ශාක නිරෝධායනය, සත්ත්ව නිරෝධායනය වැනි කරුණු මත අදාළ රාජ්‍ය ආයතනයන්හි පරික්ෂාව සඳහාද බහලුම් ප්‍රමාණයක් යොමු කරන බවද සඳහන් කරයි.

බහලුම් පරික්ෂාව රේගුව විසින් සිදු කරනු ලබන්නේ පරීක්ෂණ අංගණ තුනක බවත්,  එනම් ග්‍රේලයින් 1, ග්‍රේලයින් 2 සහ RCT යන අංගණ බවද පෙන්වා දෙයි.
මෙම අංගණ තුනේ සමස්ත ධාරිතාවය බහලුම් 360ක් බවත්, මෙම ධාරිතාවය දැනට පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන බහලුම් ප්‍රමාණය සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, මෙම කරුණ නිසාම පරීක්ෂාවට ලක් කළ යුතු බහලුම් යම් ප්‍රමාණයක් පරීක්ෂා නොකර නිදහස් කිරීමට සිදුවීම නිසා දැඩි අවදානමක් ගැනීමට රේගුවට සිදුවී තිබෙන බවද සඳහන් කරයි.

කෙසේ වෙතත්, ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහලුම් RCT අංගණය හරහා එක් දිනක් තුළ නිදහස් කරන බවත්, RCT අංගණය අලුයම හතර පමණ වන තෙක් විවෘතව තැබෙන අතර, සතියේ දින හත පුරාම විවෘතව පවතින බවත් සඳහන් කරයි. එම නිසා අතිරේක ගාස්තු ගෙවීමක් මත භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදු වීමට ඉඩක් නොපවතින බවද පෙන්වා දෙයි. 

වරායෙන් පිට වීමේ දොරටු කිහිපයක් තිබුණත්, බහලුම් පිට කිරීම සඳහා NCT දොරටුව පමණක් පාවිච්චි කිරීමට සිදුව තිබෙන බවත්, ඒ කොළඹ නගරයේ රථවාහන තදබදය වළක්වා ගැනීමට අවශ්‍ය නිසා බවද සඳහන් කරයි.

එසේම බහලුම් පරීක්ෂණ අංගණවල ඉඩ ලැබෙන තෙක්, ඒවා වරාය තුළ රඳවා ගැනීමට දැනට කටයුතු කරන අතර, එසේ කරනු ලබන්නේ බහලුම් ප්‍රවාහන රියදුරන්ගේ ඉල්ලීමකට හා ප්‍රධාන මාර්ගවල රථවාහන තදබදය අඩු කිරීම සඳහා වන බවද පෙන්වා දෙයි.
  
දිනකට බහලුම් 1500 සිට 2500 දක්වා ප්‍රමාණයක් NCT දොරටුවෙන් පිට කිරීමේදී අනිවාර්යෙන්ම තදබදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත්, දැනට ක්‍රියාත්මක කරන බහලුම් පරීක්ෂණ අංගණවල ඇති ඉඩකඩ අවම නිසා අවශ්‍ය ප්‍රමාණයට පහසුකම් සහිත නව බහලුම් පරීක්ෂණ අංගණයක් ඉදිකළ යුතු බවට රේගුව විසින් රජයට මීට පෙර යෝජනා තිබෙන බවද සඳහන් කරයි.

2020 වසරේදී රේගුවේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුව මගින් පිළියෙල කරන ලද ශක්‍යතා වාර්තාවකින් කෙරවළපිටියේ තවත් අංගණයක් ඉදිකිරීමට යෝජනා කළත්, තවමත් එය ක්‍රියාත්මක නොවූ බවද පෙන්වා දෙයි.
 
කොළඹ වරාය තුළ ස්ථාපනය කර ඇති පරිලෝකන පද්ධතිය හරහා දිනකට බහලුම් හත්සියයක් පමණ පරික්ෂාවට ලක් කරන බවත්, මෙයින් පැය 24 පුරාම සේවය සලසන නමුත්, එම යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ ඉඩකඩ සීමා වීම නිසා ප්‍රශස්ත මට්ටමේ සේවාවක් ලබාදීමට බාධා පවති බවද සඳහන් කරයි.

රේගු නිලධාරීන්ට එරෙහිව සිදුවන වංචා හා දූෂණවලට අදාළ පැමිණිලි විභාග කර දඬුවම් ලබාදීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකකය නමින් නව ඒකකයක් මේ වසරේ අගෝස්තු මස රේගුව තුළ ආරම්භ කරන ලද අතර, එම ඒකකය සාර්ථකව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මහජනතාවට සිය පැමිණිලි සෘජුවම එම ඒකකයට ලබා දිය හැකි බවද පෙන්වා දෙයි. 



Recommended Articles