රුපියල් කෝටි ගණනක් වංචා කළ විදෙස් රැකියා ජාවාරම්කරුවෙක් අල්ලයි


ඉතාලියේ සහ රුමෙනියාවේ රැකියා දෙන බව පවසමින් අතරමැදියකුගේ බැංකු ගිණුමක් යොදාගෙන විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන්ගෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බව කියන පුද්ගලයෙකු කළාතු ඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මයිලපිටියේ පදිංචිකරුවෙකු වන අතරමැදි බැංකු ගිණුම් හිමිකරු විසින් තම බැංකු ගිණුමට පුද්ගලයකු අසාමාන්‍ය ලෙස මුදල් ගෙන්වා ගන්නා බවට තළාතු ඔය පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුගේ ගිණුම පරික්ෂා කිරීමේදී ඒ වන විටද මාස හයක් වැනි කෙටි කාලයක් තුළදී රුපියල් ලක්ෂ 90ක මුදලක් බැර වී තිබී ඇති අතර එම මුදල් සැකකරු විසින් ලබාගත් බවද පැමිණිලිකරු පොලිසියට පවසා තිබේ.

එම පැමිණිලිකරු සැකකරුගේ හිතවතෙකු බවද ඔහුට සුළු සුළු මුදල් උපකාර සිදුකොට සැකකරු විසින් මෙම මුදල් ඔහුගේ ගිණුමට බැර කරගෙන ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සැකකරු පදිංචි වී සිටි මයිලපිටියේ. නිවස පරීක්‍ෂාකිරීමේදී එහි තිබූ අත් බෑගයක් තුළ රුපියල් 346480.00ක මුදලක්ද රැකියා ලබාදෙන බවට සකස් කරන ලද කූඨ ලේඛන, රබර් මුද්‍රා, විදේශ ගමන් බලපත්‍ර, ජංගම දුරකථන දෙකක් සහ රියදුරු බලපත්‍රයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ රියදුරු බලපත්‍ර ද භාවිතා කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඔහු හම්බන්තොට, පිළියන්දල සහ දියතලාව ආදි ප්‍රදේශවලද පදිංචිව සිටිමින් මෙම වංචාව සිදුකොට ඇති බවට අනාවරණය වී තිබේ.



Recommended Articles