රු.බි. 330ක බැඳුම්කර නිකතුවක්


රුපියල් බිලියන 330ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් ලැබෙන මුදල් නිකුත් කරනු ලබන්නේ කුමකටද යන්න ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

පිටකෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද  (27දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“රජය තවත් රුපියල් බිලියන 330ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්  කරන්න යනවා. ඒ අතරවාරයේ අපි දැක්කා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය ප්‍රමාණයක් අරන් තිබෙනවා.

අපි කියන්නේ නෑ මේක කරන්න එපා කියලා. නමුත් රජය පසුගිය කාලයේ කිව්වේ මේ රට බංකොලොත් වුණේ දිගින් දිගටම ණය ගැනීම නිසා කියලා. එතකොට මේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරලා සල්ලි හොයන්නේ මොකටද කියලා අපි දන්නේ නෑ. විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුව වගේ එකකින් ඉතා අඩු පොලී අනුපාතිකයකට ණය අරන් වැඩි පොලී අනුපාතයට අරන් තිබෙන ණය පියවනවා නම් ප්‍රශ්නයක් නෑ. ඒත් මේ ටික අරන් මොනවාද කරන්නේ කියන එක සම්බන්ධයෙන් ආණ්ඩුව කියන්න ඕනෑ.

විශේෂයෙන්ම මේ ආණ්ඩුව මැතිවරණ කාලයේදී කියපු  දේවල පරස්පරතාවක් තමයි දකින්නේ. විශේෂයෙන්ම කිව්වා අයි.එම්.එෆ් එකත් සමග තිබෙන ගිවිසුම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමකට ලක් කරනවා කියලා. අපි නම් කිව්වේ ඒකේ වෙනස් කළ යුතු දේවල් වෙනස් කරමින් රැකගත යුතු දේවල් රැකගෙන ඉදිරියට යනවා කියලා. ඒ නිසා ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ ජනතාවට පෙන්නුවේ රනිල් වික්‍රමසිංහත් එක්ක අත්සන් කරපු අයි.එම්.එෆ් ගිවිසුම මේ රටේ ජනතාවගේ රීරී මාංශ උරාබොන යකෙක් වගේ. ඒ පෙන්නලා ඒක වෙනස් කරනවා කිව්වා.

ඇත්ත වශයෙන්ම දැඩි බදු ප්‍රතිපත්තිය නිසා තමයි මේ රටේ ජනතාවගේ ජීවන බර මිරිකිලා තියෙන්නේ. විශේෂයෙන්ම වැට් බද්ධ වැඩි කරලා තියෙනවා, කරන්ට් බිල වැඩි කරලා තියෙනවා. ආණ්ඩුව කිව්වේ මේ සියල්ල වෙනස් කිරීම සඳහා අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කරනවා කියලා. නමුත් අපි ගිය සතියේ අයි.එම්.එෆ් එකේ කට්ටිය මුණගැසුණම අපිට ආරංචි වුණු දේ තමයි රජය වේදිකාවේදී කිව්ව දේට සම්පූර්ණයෙන්ම පරස්පරතාවක් පෙන්වමින් රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කරනු ලැබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම එලෙසම එම ආකාරයෙන්ම පවත්වාගෙන යාම සඳහා එකඟ වෙලා තියෙන බව. ”



Recommended Articles