රු. ලක්ෂ 30ක දුම්වැටි සමග කාන්තාවන් දෙදෙනෙක් අල්ලයි


රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු 12/10 දින අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් දෙදෙනා ඩුබායි හි ගෘහ සේවය සදහා ගොස් ඇති අතර එහිදී ඔවුන්ට එම රැකියා අවස්ථා නොලැබී තවදුරටත් එරට රැදී සිටියදී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් තාවකාලික ගමන් බලපත්‍ර යටතේ මොවුන් දෙදෙනා ආපසු ශ්‍රී ලංකාව වෙත එවා තිබේ .

ඔවුන් එසේ පැමිණෙන අතරතුර මෙම විදේශීය නිෂ්පාදිත " මැන්චෙස්ටර් " වර්ගයේ දුම්වැටි 20,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 100 ක් , තම ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

මොවුන් දෙදෙනා අතරින් එක් කාන්තාවක් 33 හැවිරිදි වියේ පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අනෙක් කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඔවුන් 12/10 දින අලුයම 12.45 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා පසුව පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා එළඹෙන 12/18 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .



Recommended Articles