රු. කෝටි 10ක අයිස් සමග තායිලන්ත කාන්තාවක් අල්ලයි


සිංගප්පූරුවේ සිට පැමිණි රුපියල් කෝටි 10ක වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය හෙවත් (මෙතැම්පටමයින්) තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක්  ඊයේ (04දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටතට යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය 33 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවකි. ඇය තායිලන්තයේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත ගොස්, එතැන් සිට සිංගප්පූරුවේ චෙන්ඩු ගුවන්තොටුපොළේ සිට ඊයේ (04දා) රාත්‍රී 11.55 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේ පැමිණි මෙම කාන්තාව, කටුනායක ගුවන්තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් රැගෙනවිත් තිබූ ගමන් මලු තුළ, ආහාර අඩංගු ඇසුරුම් කිහිපයක් තුළ මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණය අසුරා සඟවා ගෙන තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගත් ගුවන් මගී කාන්තාව, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

 



Recommended Articles