රු. 36000ක අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියා වසර 56ක් හිරේට


ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය සහතිකයක් නිකුත් කිරීමට රුපියල් 36,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මඩුල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකුට වසර 56 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 40,000/-ක දඩයක්ද අද (10) නියම කළේය. 

විත්තිකරු අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 36,000/-ක මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගැනීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 56 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් කාලය වසර 07ක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

අල්ලසක් නොදී රජයේ කාර්යාලයකින් වැඩක් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති මෙන්ම අල්ලස් ගැනීම ඇතැම් රජයේ නිලධාරීන් කලාවක් බවට පත් කරගෙන ඇති සමයක ඈත දුෂ්කර ගම්මානයක ඇති මාර්ගයක් සංවර්ධනය කිරීමට අදාළ ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය සහතිකයක් නිකුත් කිරීමටද අල්ලස් ඉල්ලා ලබා ගත් බවට වරදකරු වු මෙම විත්තිකරුට පගා ගැනීමට සිතා සිටින අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ටද පාඩමක් වන අන්දමට දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය කළ ඉල්ලීක් පිළිගනිමින් විනිසුරුවරයා මෙලෙස දඬුවම් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මොණරාගල ප්‍රදේශයේ මඩුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්ෂණ නිලධාරියා වශයෙන් කටයුතු කළ ඩබ්.එම්.ටී. බණ්ඩා නමැත්තාටය.

2017 ඔක්තෝම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මඩුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්ෂණ නිලධාරිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කපුලන්ද මාර්ගය සහ උඩුගල්ලෙන මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් සමෘද්ධි ගම්මාන සංවිධානයට සහ ලහිරු ගොවි සංවිධානයට ගෙවිය යුතු ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය තාක්‍ෂණ වාර්තාව නිකුත් කිරීමට පුද්ගලයකුගෙන් අවස්ථා දෙකකදී රුපියල් 36,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා 08ක් යටතේ නඩු පවරා තිබිණී.

නඩු විභාගයේදී පැමිණිල්ල මෙහෙයවු අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කීිරම සඳහා සාක්කිකරුවන් 11දෙනෙකු සහ ලේඛණ 20ක් ඉදිරිපත් කළ අතර මඩුල්ල ප්‍රාදේශිය සභාවට අයත් කපුලන්ද මාර්ගය සහ උඩුගල්ලෙන මාර්ගය සංවර්ධනය කිරීම සඳහා සමෘද්ධි ගම්මාන සංවිධානය සහ ලහිරු ගොවි සංවිධානය ටෙන්ඩර් ලබාගෙන ඇති බව නඩු විභාගයේදී සාක්කි ඉදිරිපත් විය.

මාර්ග සංවර්ධනයෙන් අනතුරුව ටෙන්ඩර් මුදල් ලබාගැනීම සඳහා අවශ්‍ය තාක්‍ෂණ වාර්තාව ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ අවස්ථාවේදී විත්තිකරු ටෙන්ඩර් මුදලින් සීයයට 05 බැගි්න් සහ රුපියල් 3000/- බැගින් ළහිරූ චන්දිමාල් නමැත්තාගෙන් ඉල්ලා ඇති බවත් ඒ අනුවකළ වැටලීකදී විත්තිකරු අල්ලස් මුදල් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් නඩු විභාගයේදී සාක්කි ඉදිරිපත් විය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා තීරණය කළේය.

සචිත්‍ර ගුණසේකර


 



Recommended Articles