රිෂාඩ්ගේ හා දිගම්බරන්ගේ පක්ෂත් දෙකඩ වෙයි


රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන්  එහියා මහතා ඇතුළු  පළාත් පාලන ආයතන රැසක හිටපු මහජන නියෝජිතයන් සහ ක්‍රියාකාරින් පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්  පුර්ණ සහාය පළ  කරන බව කියා සිටියහ.

මේ අතර පලනි දිගම්බරන් මහතාගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික සංගමයේ හැටන්, නෝර්වුඩ්, ආගරපතන, මස්කෙළිය, නුවරඑළිය යන ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය පළ කිරීමට එක් විය.

නුවරඑළිය ආගරපතන කලාප එජාප සංවිධායිකා සහ ලක්වනිතා පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක කල්‍යාණි සතරසිංහ මහත්මිය සමඟ  කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණි එම පිරිස මේ බව දැනුම් දුන්හ.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක නටරාජා රවිකුමාර්, මහලේකම් යෝගරාජා පිල්ලේ ඇතුළු පක්ෂ ක්‍රියාකාරින් පිරිසක් ද කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක් විය.

තම පක්‍ෂ නායකයන් වෙනත් අපේක්‍ෂකයන් සමඟ සන්ධානගතව සිටියද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට මෙරට බහුතර දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ සහාය ජනාධිපතිවරයාට හිමිවන බව මෙහිදී ඔවුහු 
පෙන්වා දුන්හ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles