රියදුරන් දෙදෙනෙක් රිමාන්ඩ් කරන්න කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි


‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව වීරඹු ගෙදර ජය වඩනගම ප්‍රදේශයේ මාර්ග බාධකයක වාහන සෝදිසි කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කර, එම පොලිස් නිලධාරීන්ට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ලොරි රථ රියදුරෙකු සහ යතුරු පැදිකරුවෙකු රිමාන්ඩ් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව  මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් මුදලින් රුපියල් 2,000 බැගින් මුදල් ඇප මෙන්ම, වෙන් වෙන් වශයෙන් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප එක බැගින් නියම කළේය. ඔවුන්ට ලබන මාර්තු මස 19 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

මෙසේ ඇප මත මුදා හැරියේ වීරඹු ගෙදර පොලිස් වසමේ කළුගමුව ජයවඩනගම පදිංචිකරුවන් වන කේ.ඒ. චමිදු හංසික ජයසිංහ සහ අයි.ඒ. ඉරේෂ් චන්දන කරුණාරත්න යන සැකකරුවන්ය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් වීරඹු ගෙදර පොලීසිය පැවසුවේ, මෙම සැකකරුවන් දෙදෙනා මාර්ග බාධක රාජකාරිවල නියැළෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කර, කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටින බව අධිකරණයට දැනුම් දුන් පොලීසිය, සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන්නැයිද ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා සඳහන් කළේ, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති බව පවසමින් එම හේතුව මත තම සේවා දායකයන් රිමාන්ඩ් කරන ලෙස පොලීසිය ඉල්ලන්නේ තම සේවාදායකයන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් සලකමින් දැයි ප්‍රශ්න කළේය.

පොලීසියේ සහ තවත් පාර්ශ්වයක් අතර ගැටුමකදී එතැනට සාමාන්‍ය ජනතාව එක් රැස්වීම සුලභ දෙයක් බව අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, සිද්ධිය වූ ස්ථානයට මහජනතාව එක්රැස්වීම තම සේවාදායකයන්ගේ පාලනයෙන් තොරව සිදුවූ බවද කීවේය.

තම සේවාදායකයන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පහර දුන් බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ දුනුසිංහ මහතා, ඔවුනට ඇප ලබා දීමේ හැකියාව පවතින බැවින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසද ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා, සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය දැඩිව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණ.

 

 



Recommended Articles