රාජ්‍ය සේවක වැටුප් වැඩි කරීම ගැන සලකා බලනවා


ලබන වසරේ මාර්තු මාසයට පෙර නව අයවැයක් සම්මත කර, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

හෝමාගම ජනතා රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. පාසල් දරුවන් සඳහා අවශ්‍ය උපකරණ ලබාගැනීම සඳහා අමතර දීමනාවක් ලබාදීමට  ද අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 

“දෙසැම්බර් මාසයට ඉදිරිපත් කළ යුතු අයවැය ලේඛනය පාර්ලිමේන්තු ක්‍රමවේදයට අනුව ඉදිරිපත් කළ නොහැකිව තිබෙනවා. ඒ නිසා අපි දෙසැම්බර් මාසයේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගන්නවා. මාර්තු මාසයට පෙර අලුත් අයවැය ලේඛනයක් සම්මතර කර ගන්නවා. ඒ අයවැය ලේඛනය තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව අපි අවධානය යොමු කරනවා. පාසල් දුවා දරුවන්ට උපකරණ පාසැල් උපකරණ ලබාගන්න අමතර දීමනාවක් ලබාදීමට අවධානය යොමු කරනවා.

අපි අලුත් ව්‍යාපෘතියක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. පරිසරය පැත්තෙන් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න දියත් කරන ව්‍යාපෘතිය සඳහා විශේෂ ජනාධිපති කාර්යසාධන බලකායක් ගොඩනඟලා, පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න  කටයුතු කරනවා. ඒ සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට, මෙන්ම මේ රටේ ඒ සඳහා දායක විය හැකි සියලුම දෙනාටත් ආරාධනා කරනවා ඒ සඳහා දායක විය හැකි අරමුදලක් නිර්මාණය කරන්න.

සෑම ගඟක්, ඇළක්, වෙරළක්, පාරක්, මංමාවතක් ඇතුළු සෑම ස්ථානයක්ම පිරිසිදුභාවයට ගේනවා. ආසියානු කලාපයේ පිරිසිදුම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අපේක්ෂාවෙන් අපි වැඩ කරනවා. පිරිසිදු වැසිකිළියක්, පිරිසිදු බස් නැවතුම්පොළක්, පිරිසිදු දුම්රිය ස්ථානයක්, පිරිසිදු දුම්රියක්, පිරිසිදු බස්රියක්, පුරවැසියන්ට අනෙකා පිළිබඳ ලෙන්ගතුභාවය, සිනාවෙන් සලකන, යහපත් පිළිගැනීමෙන් සලකන සමාජයක් ගොඩනැගීම අපේ අරමුණයි. පරිසරය පැත්තෙන් පමණක් නොවෙයි සෑම පැත්තකින්ම පිරිසිදුවූ සමාජයක් ගොඩනැගීම “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරනවා.”



Recommended Articles