රාජ්‍ය බුද්ධි තොරතුරු අපරාධකරුවන්ට හා ජාවාරම්කරුවන්ට දුන් කොස්තාපල් අල්ලයි


රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සිට රාජ්‍ය බුද්ධි තොරතුරු, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් අතට පත් කළ විශේෂ කාර්ය බලකායේ සේවය කරන කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව එම කාර්ය බලකාය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව කිලිනොච්චි විශේෂ කාර්ය බලකා කඳවුරේ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකි. මෙම සැකකරු රාජ්‍ය බුද්ධි තොරතුරු අවසරයකින් තොරව බාහිර පාර්ශ්ව වෙත ලබා දෙන බවට ලද බුද්ධි තොරතුරකට අනුව  විමර්ශන පවත්වා කිලිනොච්චි විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් පෙරේදා (27දා)  ඔහු අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර කොස්තාපල් සන්තකයේ තිබී විවිධ වර්ගයේ ජංගම දුරකථන හයක්, සිම් කාඩ් වත් හතක් ඇතුළු දේපොළ සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සහ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ  සමීප  සම්බන්ධතා පවත්වන පුද්ගලයකු බවට අනාවරණය වී ඇත.

මොහු මෙම බුද්ධි තොරතුරු මුදලට බාහිර පාර්ශ්ව අතර පත්කර ඇති බවට විශේෂ කාර්ය බලකාය සැකකරයි.සැකකාර කොස්තාපල්වරයා 2014 වසරේ පොලිස් සේවයට බැඳී ඇති අතර 2021 වසරේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ මුලස්ථානයට විශේෂ රාජකාරි සඳහා කැඳවා ඇත. 2024. 09.28 දින සිට මොහු කිලිනොච්චි විශේෂ කාර්ය බලකා කඳවුරට ස්ථාන මාරුවීම් ලබා පැමිණ ඇති බව විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසයි.

ඉන්දිකා රාමනායක

 



Recommended Articles