රාජ්‍ය නිලධාරීන්ට දුන් යතුරුපැදියක් සොරා ගෙන හොරකමේ ගිහින්


රාජ්‍ය නිලධාරීන්ට රජය මගින් ලබා දී තිබූ යතුරු පැදියක් සොරාගෙන ඊට ව්‍යාජ අංක තහඩුවක් සවිකොට එය භාවිතා කරමින්  දිවයිනේ පොලිස් වසම් පහළවක නිවෙස් වලට ඇතුළු වී එහි නිවැසියන්ට  තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා මරණීය තර්ජනය කොට රුපියල් කෝටි එක හමාරකට අධික  වටිනාකමින් යුත් රන් භාන්ඩ හා දේපළ කොල්ල කෑ දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් පහක් සමග  අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 32 -38 වයසේ පසුවන "වැල්ලා" ඇතුළු දෙදෙනකු බව  පොලිසිය කියයි.

අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් ඔරුවල ප්‍රදේශය හරහා අපරාධ නිවාරණ රාජකාරියකට යමින් සිටියදී මාර්ගයේ රැඳී සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනකු පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබේ හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 300 පොලිස් භාරයට ගෙන තිබේ.

පසුව සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී අතුරුගිරිය , කටාන , මිනුවන්ගොඩ, කඩවත,බියගම , මීගහවත්ත , වත්තල පානදුර දකුණ , හිරණ ,  මාලබේ , ගම්පහ සහ යක්කල ඇතුළු පොලිස් වසම්  වලින් කොල්ල කෑ  එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ තොගයක්  පොලිස් භාරයට ගෙන තිබේ.

පසුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී  සැකකරුවන් සොරා  ගත් ස්මාර්ට් ජංගම දුරකථන පහක්,වටිනා අතරලෝසු දෙකක්, හා යතුරු පැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් භාරයට ගත් එක් යතුරුපැදියක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරියකුට රජය මඟින් ලබාදී තිබූ යතුරුපැදියක් වන අතර එය සොරාගෙන වාද්දුව ප්‍රදේශයෙන් අහුලාගත් ව්‍යාජ අංක තහඩුවක් සවිකොට එය භාවිතා කරමින් මෙම කොල්ලකෑම් සිදු කර ඇති බව පැවසේ.

සැකකරුවන් දෙදෙනා ඉහත පොලිස් වසම් වල නිවෙස් වලට ඇතුළු රම්බෝ වර්ගයේ පිහියක් හා අඩි තුනක් පමණ දිග මන්නා පිහි දෙකක් භාවිතා කරමින් එහි නිවැසියන් කපා තුවාලකොට මරණීය තර්ජනය කරමින් දේපළ කොල්ලකෑම් සිදුකර ඇතිි බව විමර්ශන බලදී අනාවරණය වී තිබේ.

පසුව එම තියුණු ආයුධ තුන රන් භාණ්ඩ , යතුරුපැදී දෙකක්, ව්‍යාජ අංක අංක තහඩු, අත් ඔරලෝසු 04, ජංගම දුරකථන පහක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් 2009 වසරේදී රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධීන් රැසකට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වූ අය බව කියයි. සැකකරුවන් දෙදෙනා කඩුවෙල අධිකරණයට (23) දා ඉදිරිපත් කිරීමට නියමිතය.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

 



Recommended Articles