රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහක් වැඩට නාවොත් සේවය හැර යාමේ නිවේදන


රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව අදාළ චක්‍රලේඛයේ සඳහන්ය. යම් නිලධාරියෙකු වෙත සේවය හැරයාමේ නිවේදනයක් නිකුත් කළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් සිදුකරන්නේ නම් එය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටි රීතිහි 216 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

යම් නිලධාරියෙකු විසින් තනතුර අතහැර යාමේ නිවේදනයකට අදාළව ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන නිදහසට කරුණු දැක්වීම සම්බන්ධයෙන් අදාළ විනය බලධරයා විසින් දෙනු ලබන තීරණය නිලධාරියා වෙත ලිඛිතව දැන්විය යුතු බවද අදාළ චක්‍රලේඛයේ  සඳහන්ය.

මේ අතර දීපව්‍යාප්ත සේවාවන්හි විශේෂ ශ්‍රේණියට ඉදිරියේදී උසස් වීම් ලබන නිලධාරීන් අදාළ තනතුරට පත්වීමේ ලිපිය ලද දින සිට වැඩකරන දින 22ක කාලයක් තුළ නව තනතුරේ වැඩ භාර ගැනීම කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

එලෙස රාජකාරී සඳහා මාසයක් තුළ වාර්තා නොකරන නිලධාරීන්ගේ විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අවලංගු වූවා සේ සැලකිය යුතු බවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles