රට විවෘත කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ


දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරි නීතිය හෙට(01) අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග රට පවත්වාගෙන යා යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

  • අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් සඳහා දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා අවසර ලබා නොදෙනු ඇත.
  • පොදු ප්‍රවාහන සේවයේදී මගීන් ගෙන යා හැක්කේ ආසන  ධාරිතාවට පමණක් වන අතර වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු අතර ජනේල විවෘත කර තැබිය යුතුයි.
  • සෑම විටම මුහුණු ආවරණයක් නිසියාකාරව පැළඳ සිටිය යුතු වෙයි.
  • හෙට (01) සිට 31 වනදා දක්වා නිවසින් පිටවීමට හැකියාව ලැබෙන්නේ රැකියා සඳහා සෞඛ්‍ය අවශ්‍යතා හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි.
  • නැවත දැනුම්දෙන තෙක් කිසිදු රැස්වීමක් පැවැත්වීමට අවසර හිමිව නැත.
  • ආයතනවලට පැමිණෙන සේවකයන් සැම විටකම සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම කළ යුතුයි.
  • මෙය අතශව්‍යශ සේවා හා කර්මාන්තවලට අදාළ නොවන අතර අනෙකුත් සේවා අවශ්‍ය අවම සේවකයන් සමග ක්‍රියාත්මක විය හැකියි.
  • ගෙන්වාගත හැකි සේවකයින් ගණන ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතු වෙයි.
  • ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා අවසර ලබාදී ඇති අතර ප්‍රාදේශීය කමිටුවල හා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට හැකියාව පවතියි.
  • ගෘහස්ථ හෝ එළිමහන් උත්සව, සාද හෝ එක්රැස් වීම් සඳහා ලබන 31 වනදා දක්වා අවසර හිමිව නැත.
  • කෘෂිකර්මාන්ත කටයුතුවලට අවසර හිමිවන අතර ඉදිකිරීම් ස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියාත්මක විය හැකියි.
  • බාබර් සහ රූපලාවන්‍යාගාර සඳහා වේලාවක් වෙන්කර ගැනීමෙන් පසුව පැමිණිය හැකියි.
  • පාසල් විවෘත කිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.
  • අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කරන පරිදි සිසුන් 200ට අඩු ගණනක් ඇති පාසල් ප්‍රථමයෙන් විවෘත කළ හැකියි.
  • දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර හිමිවනවා. එමෙන්ම පෙර පාසල් පැමිණෙන ළමුන් ගණනින් සියයට 50ක ධාරිතාවකින් ක්‍රියාත්මක විය හැකියි.
  • විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු ආරම්භ කිරීමට හැකියාව පවතින අතර පැමිණීමේ සංඛ්‍යාව අඩු කර මාර්ගගත ක්‍රම සමග ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතු වනවා.
  • වෘත්තීය පුහුණු ආයතන ඕනෑම වේලාවක සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැකියි.

 



Recommended Articles