රජයේ වතු සමාගම් තුනක හිඟ සේ.භා.අ. මුදල රු. කෝටි 500 ඉක්මවයි


රජයේ ප්‍රධාන වතු සමාගම් තුනක් වසර 25 ක් තිස්සේ සේවකයින්ගෙන් අය කර ගත් අර්ථ සාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ හිඟය රුපියල් කෝටි 500 ඉක්මවන බැවින් එම මුදල් ගෙවීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස ලංකා වතු සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

ලංකා වතු සේවා සංගමය අද 16 වනදා මහනුවරදි පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිිංහ මහතා මේ බව කීය.

"මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය වැවිලි සමාගම් පිළිබඳව විශාල ගැටළු ප්‍රමාණයක් 2001 වසරේ සිට ක්‍රියාත්මක වෙමින්  තිබෙනවා.මේ ගැටළු සම්බන්ධයෙන් වර්තමාන රජයේ අවධානය යොමු කරන්නයි අපි බලොපොරාත්තු වෙන්නේ .

2001 වසරේ සිට රාජ්‍ය වැවිලි සංස්ථාවේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඒ වගේම ඇල්කඩුව වැවිලි සමාගමේ  වතු කාර්ය මණ්ඩලය ඇතුළු සේවකයින්ගෙන්  අය කර ගත් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විශාල වශයෙන් හිඟයක් පවතිනවා.

මේ සමාගම් තුන මේ වන විට සේවකයින්ගේ වැටුපෙන් කපා ගන්නා ලද අර්ථ සාධක අරමුදල්වල හිඟය රුපියල් කෝටි 500 ඉක්මනවා.2001 සිට පත් වුන සෑම රජයක්  එක්කම අපි මේ ගැන සාකච්ඡා කළා.ඇමතිවරුන් එක්කත් සාකච්ඡා කළා. නමුත් අවාසනාවකට මේ තත්වය තවමත් වෙනස් වෙලා නෑ. මේ වන විට ඇතැම් සාමාජිකයෝ ඒ මුදල් හිමි අය මිය ගිහිල්ල තියෙනවා.ඔවුන්ගේ දරුවන්ටවත් මේ අර්ථසාධක අරමුදල බුක්ති විඳින්න  බැරි වෙලා තියෙනවා

අපේ ප්‍රධාන ඉල්ලීම තමයි මේ රාජ්‍ය වැවිලි සමාගම් තුන ගෙවිය යුතු  රුපියල් කෝටි 500 කට අධික  සේවක අර්ථසාධක, සේවා නියුක්තිකයින්ගේ  අරමුදල් වගේම පාරිතෝෂික දීමනා ගෙවීම සඳහා එම ගෙවීම් ආරම්භ කිරිමට තරම් ප්‍රමාණවත් මුදලක් මේ අයවැයෙන් වෙන කරන ලෙස මේ ජනතාවාදී ආණ්ඩුවෙන්  ඉල්ලා සිටිනවා" බවද ඒ මහතා මෙහිදී කීය.

 



Recommended Articles