රජය වැරදි පාරේ යනවානම් අපි විරුද්ධව නැගී සිටිනවා


වත්මන් රජය මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දු ඔවුන් හරහාම ඉට කරවා ගැනීම නව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ කාර්ය බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (18දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“පසුගිය 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී දක්ෂිණාංශික කඳවුරේ මතවාදය නියෝජනය කරමින් , ඒ මතවාදය රකිමින් අපිට ඡන්දය දුන් ජනතාවට ප්‍රථමයෙන් අපේ ස්තූතිය පුද කරන්න කැමතියි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒකපාර්ශ්වික මතයක් නෙවෙයි, විරුද්ධ මතයනුත් දරන නියෝජනයක අවශ්‍යතාව තේරුම් ගත්ත ඒ ජනතාවට අපේ ස්තූතිය පුද කරන්න ඕනෑ.

ඒ වගේම වර්තමාන රජයට මේ රටේ ජනතාව විසින් තුනෙන් දෙකක බලයක් ලබා දීලා තියෙනවා. අපි ඒ ජන මතයට ගරු කරන්න ඕනෑ. ඒ වගේම අපේ මුඛ්‍ය කාර්ය භාරය වන්නේ ප්‍රධාන විපක්ෂය හැටියට තුනෙන් දෙකක බලයක් ලබා ගන්න , වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වෙන්න පසුගිය කාලයේ මේ රටේ ජනතාව විඳපු සහ තවමත් විඳිමින් ඉන්න දුක් කන්දරාව නැති කිරීම සඳහා ඔවුන් විශාල පොරොන්දු ගණනාවක් ලබා දීලා තිබෙනවා.

ඒ නිසා අපේ කාර්ය භාරය වෙන්නේ ඒ පොරොන්දු ජනතාවට ලබා දීම සඳහා සහ රජය ලවා ඒ පොරොන්දු ඉෂ්ට කරවමින් ජනතාවගේ ජීවන මට්ටම ඉහළ මට්ටමකට ගේන්න අධ්‍යාපන සමාජ, සංස්කෘතික වෙනසක් මේ රට තුළ ඇති කිරීම සඳහා ඔවුන් දුන්න පොරොන්දු ක්‍රියාත්මක කරවීම තමයි අපේ මුඛ්‍ය කාර්ය භාරය වෙන්නේ. 

විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස මේ රට කඩාවට්ටන්න, ආර්ථිකය කඩාවට්ටන්න, දේශපාලන වුවමනා මත සියලු දේවල් විනාශ කරලා දාන්න කිසිදු කාර්ය භාරයක් අපි විසින් නොකළ යුතුයි. ඒත් රජය වැරදි පාරේ යනවා නම් ඊට විරුද්ධව විවේචනය කරන්නත් , නැගී සිටින්නත් , රජය ලබා දුන් පොරොන්දු ඉෂ්ට කරවා ගැනීම තමයි අපේ කාර්ය භාරය වෙන්නේ. ”



Recommended Articles